Sunday, October 24, 2021

2. යාල් දින පොත 2

 යාල්දේවියෙන් යාල්පානමට යන්න එන්න දේවි


වේලාව උදෑසන අට පසු වී මිනිත්තු පහ⁣ළොවකි. ගල්කිස්සේ සිට හැල්මේ දිව ආ යාල් දේවිය මඳක් නැවතී හුස්මක් ගන්නේ කුරුණෑගල දී ය. පළමුවෙනි වේදිකාවේ මඳක් තැන්පත් වී සිටින ඇය, විටින් විට සැර දමමින් නොඉවසිලිමත් බවක් පළ කරන්නේ මෙතැන් සිට ඉදිරියට යා යුතු දුර ගැන සිහිවීමෙන් වත් දො යි සිතෙයි. යාල් දේවිය ගේ නොඉවසිලිමත් ගෙරවිල්ල අතරින් දුම්රියපළේ යකඩ කට ද රැල් බුරුල් හැර කුමක්දෝ අඩව්වක් අල්ලන්නට සැරසෙයි.

"සවන්දෙන්න ! මේ කුරුණෑගල දුම්රිය ස්ථානයයි. පළමුවෙනි වේදිකාවට දැන් පැමිණි යාල්දේවී නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් කන්කසන්තුරේ බලා පිටත්වේ. දුම්රිය නවත්වන්නේ ; මහව හන්දිය , ගල්ගමුව, තඹුත්තේගම, තලාව, අනුරාධපුර, වව්නියාව, කිලිනොච්චිය, අලිමංකඩ, පලෙයි, කොඩිකාමම්, යාපනය සහ කන්කසන්තුරේ ."
ගල්කිස්සෙන් ගමන් ආරම්භ කර කොළඹ කොටුව , ගම්පහ, පොල්ගහවෙල පසුකරමින් KKS  හෙවත් කන්කසන්තුරය දක්වා කිලෝමීටර් හාරසියයක පමණ දුර ගෙවා දිවෙන උදෑසන නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මැයයි. යාල්දේවි යන මේ දුර ගමන අතරතුර උතුරු දුම්රිය මාර්ගයේ ඇයට හමු වන අනෙක් යෙහෙළිය නම් උත්තරදේවිය යි. ඊට අමතර තවත් ශීඝ්‍රගාමී දුම්රියක් හා රාත්‍රි තැපැල් දුම්රියක් ද මේ මඟෙහි ධාවනය කෙරේ.

සවන්දෙන්න ! මේ කුරුණෑගල දුම්රිය ස්ථානයයි

උතුරු දුම්රිය මඟ යනු, වයඹ පළාත සහ උතුරු මැද පළාත හරහා විහි දී උතුරු පළා‍තේ කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් අවසන් වන දිවයිනේ දීර්ඝත ම දුම්රිය මාර්ගයයි. මෙහි දුර කිලෝ මීටර 339 ක් වන අතර පොල්ගහවෙල සහ වවුනියාව අතර පමණක් දුම්රිය නැවතුම් 55 කි. ගල්කිස්ස සිට නම් ඊටත් වැඩි ය.

ගැඹුරු හුස්මක් අදින යාල් දේවිය ගෙවන්නට ඇති ඉදිරි දුර දිග පළල මනිමින් කුරුණෑගලට සමුදෙයි.

අතරමගදී ඇය මඟ දෙපස නිල්ල ගැසුණු සාරවත් කෙත්වතු පසු කර ඇදේ. වැව් බැදි රාජ්‍යයේ අහස් කුස සිඹිමින් මව් දෙරණට රැකවල් සලසන සුදෝ සුදු දාගැබ් ද, වෙහෙර විහාර ද, විවිධ දෙවිවරුන් නෙක මුද්‍රාවලින් කැටයම් වූ කෝවිල් ද ඇයට එම ගමනේදී හමු වේ. ඒ යන ගමන අතරතුර ඇය වැව්,අමුණු අසලින් හැල්මේ ගමන්කරමින් ගංගා රැසකින් ද එතෙරව දිව යයි.

සංහිදියාවේ අන්තර් යාත්‍රිකයා

යාල් දේවි යනු බටහිරින් පටන්ගෙන මව් ධරණි තලයෙන් අඩක් පසු කර උතුරට දිවෙන සංහිදියාවේ අන්තර් යාත්‍රිකයාය යි කිව හැකි ය.

මෙරට යටත් විජිත‍යක් බවට පත් කරගත් විදේශිකයෝ මේ මහ පොළොවේ සශ්‍රීක බවත් සුන්දරතාවත් දුටහ. වර්ෂ එක්දහස් අටසිය අසූවේදී උතුරේ වනගත ප්‍රදේශවල සැරිසැරූ හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා එකී පෙදෙස්හි නොදියුණු බව දැක සංවර්ධනය කිරීමේ පියවරක් ලෙස ප්‍රවාහන මාධ්‍ය දියුණු කිරීමට කටයුතු කළේය. එහි පළමු අදියර ලෙස 1887 දී උතුරට දුම්රිය මාර්ගයක් තැනීමට කොමිසමක් පත් කළ බව දුම්රිය ඉතිහාසයේ සදහන් වේ. අදියර කිහිපයක් යටතේ දුම්රිය මඟ ඉදි වන පසුබිමක 1895 නැවත කොමිසමක් පත් කෙරුණේ, ජනතාවගේ දැඩි ඉල්ලීම නිසාය. 1900 වසරේ අප්‍රේල් මස සිට අදියර දෙකක් ඔස්සේ කුරුණෑගල සිට යාපනය දක්වාත් පසුව කන්කසන්තුරය දක්වාත් දුම්රිය මඟ ඉදි විය.


යාල් දේවියේ මංගල ගමන සම්බන්ධව එදා පළ වුණු පැරණි දැන්වීමක්

යාල් දේවියේ මංගල ගමන

යාල් දේවියේ මංගල ගමන යෙදුණේ 1953 අප්‍රේල් විසි තුන්වන දින ය. එවකට ශ්‍රී ලංකාවේ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ව සිටියේ බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල ය. ඔහුගේ මුලිකත්වයෙන් ශීඝ්‍රගාමී දුම්රිය තුනක් රටේ තුන්කොනට ධාවනය කෙරිණ. මාතර දක්වා රුහුණු කුමාරි, බදුල්ල දක්වා උඩරට මැණිකේ සහ කන්කසන්තුරය දක්වා යාල්දේවී ය.

1990 දශකයේ ඊළාම් යුද්ධය හේතුවෙන් දුම්රිය ගමන නතර වන තෙක් ම වසර ගණනාවක් පුරා මගීන්, බඩු භාණ්ඩ ප්‍රවාහනයට යාල් දේවිය දායක වූවා ය. විරාමයකින් පසු, තිස් වසරක යුද්ධය නිමා ව උතුරේත් දකුණේත් සහෝදරත්වය හා ළෙන්ගතුකම තහවුරු කරන්නට යාල්දේවි සිය යාල්පානම් ගමන නැවත ආරම්භ කළේ 2014 වර්ෂයේදී ය.

යාල්දේවි සිය යාල්පානම් ගමන නැවත ආරම්භ කළේ 2014 වර්ෂයේදී ය 

සයුර සිඹ තෙත් බරව හමා එන උතුරු සුළඟ

අනුරාධපුරය සිට වව්නියාව දක්වා ‍ දුම්රිය මග දෙපස සාරවත් ය, හරිත ය.පීදීගෙන එන කුඹුරුවල නිදහසේ ඇවිද යන මොණරුන් පලින් පල නිතර නෙත ගැටේ. ගහකොළ හරිත පැහැයෙන් බර ය.සතා සිව්පාවන් ද කෙළිදෙලෙන් වසන්නා වැන්න.

ලෝකයේ හොඳ ම දුම්රිය මාර්ගයක් වුණු යාපනය – කොළඹ දුම්රිය මග වීඩියෝව මෙතනින් නරඹන්න.

උතුරු මැද පළාත කෙමෙන් පසුකර යත් ම දුම්රිය මඟ අවට පරිසරයෙහි කටු පඳුරු, ලඳු කැලෑ සහිත වියළි කලාපීය භූ විෂමතා ලක්ෂණ ඉස්මතු වේ. දැන් යාල් දේවිය උතුරු සුළඟ සමඟ පොර බදමින් උතුරු පළාත හරහා ඉදිරියට ගමන් කරයි. සයුර සිඹ තෙත් බරව හමා එන උතුරු සුළඟින් හිරුගේ අමිහිරි කාෂ්ටක බව නිවේ. කෙත්බිම්වල ළපටි තණ උලා කමින් සරන විශාල එළු රංචු දුම්රියේ හඬට කන් ඔසවා බලන්නේ සුපුරුදු කෙනකු දුටු විටෙක මෙනි. නිදහසේ දිගේලි කළ ගවයන් ද තැනින් තැන ගාල් කළ ගව පට්ටි ද මේ බිමේ සුපුරුදු දසුන්ය.

භූමිය කාෂ්ඨටක අව්ව දරා සිටින්නේ මතු දිනෙක වර්ෂාවක් බලාපොරොත්තුවෙනි

යාපනය යනු හිරිගල් තට්ටුවක් මත වැලි මිශ්‍ර පසක පිහිටි වියළි කලාපීය භූමි ප්‍රදේශයකි. වර්ෂාව ඒ බිමෙහි සිරස සිඹින්නේ වසරේ මාස කීපයකට පමණි. එහෙයින් ම තැනින් තැන මහ පොළොව ඉරිතැලී ගොස්‍ ය. භූමිය මහා ධෛර්‍යයකින් යුතුව කාෂ්ඨටක අව්ව දරා සිටින්නේ මතු දිනෙක වර්ෂාවක් බලාපොරොත්තුවෙන් මෙනි. මවිතයට කරුණ නම් මේ කාෂ්ඨක භූමියේත් පෙනෙන තෙක්මානය පුරා විහිදුණු කුඹුරු ඉඩම් පැවතීම ය. මේ වන විට ඒවාහි අස්වනු නෙළා අවසන්‍ ය. ඉපනැලි අහසට අත් ඔසවා සිටින්නේ, කෙතට තෙත ගෙනෙන්නට අහසට යදින්නා සේ ය.

යාපනයට ඇතුළු වන එකම පිවිසුම් දොරටුව

ගමන අතරතුර හමු වන එක් තැනක් නම් යාපනය අර්ධද්වීපයේ ද්වාර මණ්ඩපය වන අලිමංකඩ ය. A9 පාර ඔස්සේ යාපනය දෙසට ගමන් කරන්නකුට නම් වවුනියා, පුලියන්කුලම්, මාන්කුලම්, පනික්කන්කුලම්, මුරුකන්ඩි, කිලිනොච්චි යන නගර පසු කරමින් අවසානයේ අලිමංකඩ වෙත පැමිණීමට සිදු වේ.

යාපනය අර්ධද්වීපයේ අලින් සිටියාද? යන්න කුතුහලයට කාරණයකි. එලිෆන්ට්පාස් යනු අලින් ගමන් කළ මාර්ගයක්ද?අර්ධද්වීපයට ගමන් කරන්නකුට මේ ගැන කුහුලක් ඇති වනවාට සැකයක් නැත.

යාපනය අර්ධද්වීපයේ ද්වාර මණ්ඩපය වන අලිමංකඩ 

මෑතක් වන තුරුම යාපනයට ඇතුළු වන එකම පිවිසුම් දොරටුව වූයේ අලිමංකඩය. කළපුව හරහා ගමන් කරන්නකුට නම් අලිමංකඩ ලුණු ලේවායත්, ඈතින් චාවකච්චේරියට නුදුරු A 32 මන්නාරම මාර්ගයට යාබද සුළං බල කුලුනු පේළියත්, පසෙක හසලක ගාමිණී රණවිරුවා ගේ අනුස්මරණ ස්මාරකයත් දැකගත හැකි ය.

ඈත බටහිර අහසින් ගිලිහී වැටෙන්න⁣ට සැරසෙන සුරත් පලයක් වන් ගිනි රතු ඉර මඬල සවස් කාලයේ අහස් කුස ලතු උලා විචිත්‍රවත් කර ඇත. එතැන් සිට ඉදිරියට ගමන් කරන්නකුට භූමිය වඩ වඩාත් සමතලා වී ඇති අයුරුත්, වෘක්ෂලතා ආදියෙහි වෙනස්වීම් ද හොඳින් නිරීක්ෂණය වනු ඇත. රටේ සෙසු ප්‍රදේශවල මෙන් සෙවණ සපයන පැතිරුණු විසල් ගස් මෙහි නැත. පැතලි භූ දර්ශනය මත ආධිපත්‍යය පතුරුවන එකම වෘක්ෂය තල් ගස්දැයි සිතේ. සෙවණ සදනු වෙනුවට ඒවා ද ආලෝක දහරාවලට අනුගත ව ඉහළට නැඟී සිටී.

මේ  යාල් දේවි හා උත්තර දේවිය එකට මුණගැසුණු අවස්ථාවක්

උතුරු අර්ධද්වීපයට අනන්‍යතාවක් වුව, සංචාරකයන්ගේ කැමරා කාචවල නොයක් රටා මැවූව ද, සෙවණක් ලබා නොදෙන ආත්මාර්ථකාමීන් පිරිසක් බඳු මේ තල් ගස් නිහඬ ඉරියව්වෙන් අදටත් බලා සිටින්නේ දශක තුනක අමිහිරි යුද්ධයක මතකවලින් කම්පිත වූවන් සේය.

වියළි ධූලි සුවඳ පරයා නැඟුණු පිච්ච මල් සුවඳකි. නෙක වර්ණ සාරියෙන් හැඩ ව, නළලේ තිලක තබා ගත් දෙමළ යුවතියන් පිරිසක් දුම්රියට ගොඩ වී ඇත. පිච්ච මල් සුවඳ ඔවුන්ගේ කෙස් කලඹේ ඇති මල් මාලවලිනි.

වියළි ධූලි සුවඳ පරයා නැඟුණු පිච්ච මල් සුවඳ

එලිෆන්ට් පාස් යනු එහි අද්විතීය පිහිටීම නිසා මෙන් ම එහි සුන්දරත්වය නිසා ද සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගත් තැනකි. එහි සොඳුරු බව සටහන් කිරීමට ලේඛකයන් බොහෝ දෙනා පෙලඹුණු රහස එයයි. අතීතයේ යාපනය සංචාරය අද මෙන් පහසු වූයේ නැත. 1905 දී කොළඹ සිට යාපනයට සංචාරය කළ යාපනයේ එවක දිසාපති, ලේඛක ලෙනාඩ් වුල්ෆ්ට ඒ සඳහා දින තුනක් ගත වී ඇත. එවකට ලංකාවේ සිවිල් සේවකයකුව සිටි ලෙනාඩ් වුල්ෆ් සිය යාපනය ගමන ගැන මෙසේ සඳහන් කර ඇත.

“අනුරාධපුර සිට අලිමංකඩ දක්වා සැතපුම් සියයක් පමණ ගමන් කළ හැකි එකම ක්‍රමය තැපැල් කෝච්චිය නමින් ව්‍යවහාර කළ ගොන් බැඳි විශාල කරත්‍තයි. ඒවාහි බිම තැපැල් මලු පුරවා තබා ඇති අතර මගීහු තැපැල් බෑග් මත නිදාගෙන ගමන් කරති. "

ගොන් බැඳි කරත්තයේ නැග අලිමංකඩට පැමිණීම යනු දින එකහාමාරක පමණ වෙහෙසකර ගමනක් බවත් එතැන් සිට යාපනයට දුම්රියෙන් යා හැකි බවත් වුල්ෆ් වැඩිදුරටත් සඳහන් කර ඇත. අලිමංකඩ සුන්දරත්වය විස්තර කිරීමට ද ඔහු එහිදී අමතක කර නැත. මුහුදේත්, කුරුල්ලන්ගේත්, කළපුවෙන් හමා එන සුළඟේත් ජීවමාන බව පාඨකයාට ළඟා කිරීමට තරම් ඔහු ඒ ගමන වින්දනය කර ඇත.

බොහෝ දේ වෙනස් වී ඇති බව සැබෑ නමුත් මුහුදත්, කුරුල්ලනුත්, කළපුවේ හඬත් එදා වුල්ෆ් දුටු විලසටම අදටත් ඇසිය හැකි ය: දැකිය හැකි ය.

මේ තල් ගස් නිහඬ ඉරියව්වෙන් අදටත් බලා සිටියි

අලිමංකඩට එම කුතුහලය දනවන නම දුන්නෝ ලන්දේසීහු ය. අලිමංකඩ යනු යාපනය අර්ධද්වීපය දිවයිනට යාකරන නොගැඹුරු කළපුවක් හරහා වැටුණු මුහුදු මාර්ගයට නමයි. ලන්දේසි සමයේ මෙරටින් අලි ඇතුන් අපනයනය කිරීමට යාපනයට නුදුරු කරයිතිව් (Karaitivu) දූපත යොදාගෙන ඇත. දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් අල්ලා ගත් අලි ඇතුන් යාපනය අර්ධද්වීපයට ගෙන යාම සදහා කළපුව හරහා මාර්ගය භාවිත කර ඇත. අලින් ගමන් නො කළත් අදටත් මේ පිවිසුම අලිමංකඩ ම ය.

වැසි නොමැති කාලවල අලිමංකඩ

වැසි නොමැති කාලවල අලිමංකඩ ප්‍රදේශය කාන්තාරයකට නොදෙවෙනි ය. මඟ දෙපස ක්‍ෂිතිජ ඉම දක්වා විහිදුණු තල් ගස් බලා සිටින්නේ යාල් දේවිය උතුරු අර්ධද්වීපයට පිළිගැනීමට මෙනි.

අර්ධද්වීපයේ දී යාල්දේවියට හමු වන තවත් එක් දුම්රිය නැවතුම් පොළක් වන්නේ නාවට්කුලි ය. එහිදී ඇස ගැටෙන සොඳුරු දසුනක් නම් A 32 මන්නාරම පාර හරහා යාපනය දෙසට යන යාල් දේවිය ගේ ගමන් මඟට මදක් නොදුරෙන් තල් ගස් අතරින් දිස්වන අලුතින් හුණු පිරියම් කළ චෛත්‍යයයි.

යාපනය දුම්රියපළ

යාපනය යනු හින්දු බැතුමතුන්ගේ හදවතයි. කෝවිල් රැසක් මැද දිස්වෙන මේ විහාරය A 9 මාර්ගයේ ගමන් කරන කෙනකුට සිතන්නට බොහෝ දේ පවසන බවක් හැඟේ. යාපනය යනු අදටත් සිංහල මිනිසුන් ද ජීවත් වන භූමියකි. වුවමනාවක් නොමැතිකමින් යාපනය සිංහල මහා විද්‍යාලය වැසී ගිය ද නාවට්කුලිය වැනි ගම්වල අදටත් සිංහල මිනිස්සු පදිංච් ව සිටිති. උත්තර නැති එවැනි ප්‍රශ්න දහස් ගණනක් තාමත් මේ බිම්වල ශේෂ වී ඇත.

සැතපුම් ගණනාවක් දිව ආ යාල් දේවිය අර්ධද්වීපයේ ඉතිරි නගර වේගයෙන් පසු කරමින් යාපනය වෙත දිව යයි. ගමන අතර වාරයේ විඩා නිවා ගනු පිණිස ඉරිඟු කරලක්, කජ්ජාන් (රට කජු), පනම් කිලන්ගු (කොට්ට කිලන්ගු), වඩයක් සමඟ බැදුණු මිරිස් කරල් කීපයක් ද වරදින්නේ නැත.

හිරු බටහිර අහසේ ගිලීමට සූදානම් ය. හෝරා හතක පමණ ගමනක් ගෙවා යාල් දේවිය කන්කසන්තුරේට සේන්දූ වී අවසන්‍ ය. දුම්රිය නැවතුම්පොළට නුදුරින් පෙනෙන්නේ කන්කසන්තුරේ වෙරළ උද්‍යානය හා ප්‍රදීපාගාරයයි. කලකට මත්තෙන් මේ ප්‍රදීපාගාරය නෞකා බොහොමයකට පාර කියූවත් අද මහ මුහුද දෙස බලා නිසොල්මන්ව සිටී. එයින් මඟ අසන නාවිකයන් අද නැතිවා වැන්න.

හෝරා හතක පමණ ගමනක් ගෙවා යාල් දේවිය කන්කසන්තුරේට සේන්දූ වී අවසන්‍
යාපනය යනු අප රටේ ම එක් අර්ධයකි. සංචාරකයකුට නැවුම් අත්දැකීම් සම්භාරයකි. යාපන ජනතාවගේ මනරම් ජීවිතය, ඔවුන්ගේ අභිමානවත් සංස්කෘතිය මොහොතකින් විඳ, වටහා ගත නොහැකි තරම⁣ට ගැඹුරු ය. ඒ සඳහා ඔබට ගවේෂකයකුගේ ඉවත්, දේශාඨකයකුගේ ධෛර්යයත්, ඉවසීමත්, විමසුම් ඇසත් වුවමනා කෙරේ. යාපනයේ ආහාර සංස්කෘතිය ද එහි රස ද වෙනම ම හඳුනා ගන්නට කලක් ගත වුව ද යාල්පානම් දෙමළ වැසියාගේ සහෝදරත්වයෙන් පිරි හදවත ද ඔවුන්ගේ මිත්‍රශීලීබව, සංග්‍රහශීලීබව එක මොහොතකින් හදවතට දැනෙන තරමට ම උණුසුම්ය.


කවරයේ පින්තූරය - කන්කසන්තුරේ අහස් කුස - Sharmila Vinothini 
මූලාශ්‍ර :

ලක්බිමේ සත් වසක් - ප්‍රේමචන්ද්‍ර අල්විස් පරිවර්තනය

facebook.com/palmyrahisland/

facebook.com/groups/RDMNS/

newsfirst.lk

relluwa.com 

slrailwayforum.com 

lankadeepa.lk 

11 comments:

  1. +++++++++++++++🙏👌

    තාම කියෙව්වෙ නෑ. පෙනුමෙන්ම හිතට අල්ලලා ගියා. නාලා, කාලා එන්නම්, නිවාඩු පාඩුවෙ කියවන්න. ආයෙ ඇවිත්, ඉතුරු ටික කියන්නම්.😊

    ReplyDelete
    Replies
    1. කාපු ගමන් කෙලගෙන ආවා බලන්න. කොහොමත් මගේ පොඩි මෙව්වා එකක් තියනවා, ඔය කෝච්චිත් එක්කලා. පාලු දුම්රිය පලවල්. සිල්පර කොටන් වලින් එක දැවි තෙල් සුවඳට, නරි කොහොමත් මනාපයි.


      පැටියා කාළෙ යාපනෙ ගැන අසා ඇතී
      දෑහින් දැකගන්න, මං පිං කලේ නැතී
      එනමුදු නරිත්, හීනෙන් යාපෙනේ යතී
      මෙහෙම ලියල දානව නං දැනට ඇතී

      Delete
  2. අගේ ඇති ලිපියක්. ලිපියේ පටන් ගැන්ම රසවත්.අපේ "බ්ලොග්‍ රෝල" ගැජට්වල මේකත්,සඳරුසීගෙ බ්ලොග් එකත් එල්ලගෙන ඉන්න නිසා,අලුත් ලිපි දාපු ගමන් අප්ඩේට් වෙනවා.

    ඇත්තටම මට මතක් වෙච්ච සිංදුව "ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවා" කියන එකයි. වෙන බ්ලොග් කීපයක දැක්ක, සෘණාත්මක කමෙන්ට් කීපයක් නිසයි, එහෙම හිතුනෙ. ඒවා ගැන හිතන්න එපා, දිගටම ලියන්න, අපි එන්නම් කියවන්න.🙏👌

    ReplyDelete
  3. ලියන්න දිගටම ලියන්න! ඊළඟ නොනැවතී ආයෙමත්; ලියන්න දිගටම ලියන්න!! මේ පෘද්ද ජීවිතය පුරාවටම පවත්වාගෙන යන්න!~!!

    ReplyDelete
    Replies
    1. ගොන් කරත්ත මොකටද මේ ඉන්නෙ බයි සයිකලෙන් යාපනේ ගිය අයෙක්.

      Delete
  4. අගෙයි.
    අනුරාධපුරෙන් එහාට ගිහිල්ල නැති අපිට මේ ලියමන් හරි වටිනව.

    ඇත්තටම සිංහල සහ දමිල මිනිස්සු අතර භේද ඇති කරන්න ඕන කාටද කියල වෙනම සොයා බලන්න ඕන කාරණයක්.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම සැමදාම පාලකයින්ට ඕන උනේ මිනිසුන්ව බෙදා වෙන් කරණ්න!`

      Delete
  5. ලියමු ඉතිරියත්... ජය

    ReplyDelete
  6. බුහ්!( මුට්ටිය දමා බැලීම)😊

    ReplyDelete
  7. අපුරුයි.... යුද්දෙත් එක්ක යාපනේට ගියාට පේදුරුතුඩුවේ ටවුමට ඇරෙන්න වෙන තැන්වල යන්න අවසර ලැබුනේ නෑ. පිස්ටල් ගැන් ඇවිල්ලා කියලත් ජිවිත ආසාව තුට්ටුවකට මායිම් නොකර ගිය හැටි ආසයි ආයෙත් ගිහින් බලන්න ටවුම වෙනස්වෙලා ඇති.

    ReplyDelete

6. සොඳුරු බව මේ ලෙසයි මන්නාරමේ

ගල්ෆ් කිව්ව ගමන් මතක් වෙන්නේ ගල්ෆ් රටවල්. ලංකාවේ මන්නාරම් දූපතත් ගල්ෆ් කලාපයේ පිහිටා තිබෙන්නේ කිව්වොත් පිළිගන්නවා ද? ඌදා පූ (දම් පාට මල්‍) බ...