Sunday, December 12, 2021

5. ජාවක ජනාවාසයක් වුණු චාවකච්චේරියට ගමනක්

 

යාපනයේ ආගන්තුක සංචාරකයාගේ මේ පාර ගමනාන්තය චාවකච්චේරි(சாவகச்சேரி) යයි. චාවකච්චේරිය තියෙන්නේ යාපනේ අර්ධද්වීපයේ දකුණු කොටස වෙන තේන්මරච්චිවල. යාපනය අර්ධද්වීපය කියන්නේ තේන්මරච්ච්, වඩමාරච්ච්, යාල්පානම්, වලිකාමම් යන ප්‍රදේශත්, නයිනතිව්, කයිට්ස්, මන්ඩතිව්, කරෙයිනගර් යන දූපත් සමූහයකිනුත් සමන්විතව යි. අර්ධද්වීපයේ උතුරට වන්නට වඩමාරච්ච් පිහිටා ඇති අතර දකුණට වන්නට තේන්මරච්ච් පිහිටා තියෙනවා. යාල් දේවි දුම්රියෙන් යාපනේට සේන්දු වෙන කෙනෙක් නම් දන්නවා චාවකච්චේරි නගරය තියෙන්නේ "සංකේතානෙයි" හා "කොඩිකාමම්" කියන දුම්රියපොළ දෙක අතරමැද්දේ කියලා.

 චාවකච්චේරි දෙමළ බසින් சாவகச்சேரி ලෙස හදුන්වන අතර එය උතුරු අර්ධද්වීපයේ පිහිටි විශාල - සුළු නගරයක්. "චාව+කච්චේරි" යන වචනයේ තේරුම ජාවානු ජනාවාසයක් යන්නයි. ඉතිහාසයේ තතු විමසන කල එහි ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා චන්ද්‍රභානු නම් පාලකයෙක් ජනාවාස සහ බළකොටු පිහිටුවාගෙන සිටි බවත් අහන්න ලැබෙනවා.

මේ ඒ ගැන පවතින එක විග්‍රහයක්.

ක්‍රි.ව. 1292 දී පමණ මෙරටට පැමිණි මාර්කෝ පෝලෝ නම් වැනීසියානු වෙළෙන්දා තම දේශාටන වාර්තාවේ දක්වා ඇත්තේ ලංකාවේ උතුරේ පාලන බලය සෙන්දමේන් නම් රජකු විසින් පාලනය කරන ලද බවයි. පරණවිතාන මහතාට අනුව මාර්කෝ පෝලෝ සඳහන් කළ සෙන්දමේන් යනු චන්ද්‍රභානු වන අතර යාපනය ජාවක ප්‍රදේශයක් ව පැවති බව එමගින් පැහැදිලි වන බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දේ. ජාවකයන්ගේ බලපෑම යාපනයේ ප්‍රදේශ නාමවල ද දැකිය හැකි ය. ජාවාවරුන්ගේ බළකොටු තිබූ ප්‍රදේශය ජාවාකෝට්ටය ලෙස හැදින්වේ. ජාවාකච්චේරිය හෙවත් දෙමළින් චාවකච්චේරිය යන නම් ලැබීමට ද එවැනිම පසුබිමක් ඇත. සෙනරත් පරණවිතාන මහතා දක්වන්නේ යාපා පටුන ද, මුලින් හඳුන්වා ඇත්තේ ජාවා පටුන ලෙස බවයි. -thevanaesa.blogspot.com                             

කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය මුල්කරගෙන ජීවත්වන ජන කොඨටාසයක් ජීවත්වන චාවකච්චේරිය විටෙක නොසන්සුන් නගරයක්. ඒ මේ නගරය A9 පාරට නුදුරින් පිහිටා තිබීම නිසා විය හැකියි. යාපනේ ඉඳන් යාපනය - නුවර A 9 පාර දිගේ චාවකච්චේරිය දිහාවට යද්දි යාපනයේ චෙම්මනි හංදිය හමුවනවා. ඒ මහා විශාල තොරණ් රාජයෙක් එක්ක. ඒ හංදිය පහු කරනවත් එක්ක ම හම්බෙන්නේ නාවට්කුලි පාලම.

චෙම්මනී පිවිසුම් ද්වාරය 

නාවට්කුලි පාලම දෙපස බලන්නකුට නම් පේන්නේ දිය අගලක්. මසුන් වෙනුවෙන් ඔබ මොබ සැරිසරන සංචරණ පක්ෂීන් එකා දෙකා සක්මන් භාවනාවේ නිරත වෙන අන්දම නම් අපූරුයි. නාවට්කුලි පාලමට මත්තෙන් පාරේ දකුණු පස සුදු පාටින් ම හුණු පිරියම් කළ කෝවිලක් ද නෙත ගැටෙනවා. පාලමේ අපූර්ත්වය නම් පා පැදි වෙනුවෙන් ම වෙන් වුණු මංතීරුවක් තිබීමයි. හේතුව නම් උතුරු අර්ධද්වීපයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් නම් පා පැදිය යි. කාගේත් ගමන් සගයා මේ පා පැදිය යි.

සිවභූමි යාපනය කෞතුකාගාරය 

නාවට්කුලි දුම්රියපොළට හා පාලම අතර "සිවභූමි යාපනය කෞතුකාගාරය " දැකිය හැකියි. හුදෙක් ම යාපනයේ යට ගිය ඉතිහාසය එක් තැනකට එක්කාසු කළ නටබුන්, චිත්‍ර, උපකරණ, පැරණි වාහන ආදිය සහිත කෞතුකාගාරයක්. A9 පාරේ යාපනයේ සිට නුවර බලා යන කල පාරෙන් දකුණු පසට වන්නට පිහිටි "සිවභූමි යාපනය කෞතුකාගාරය " දැකිය හැකියි.

සිවභූමි යාපනය කෞතුකාගාරය ඇතුළත 

එහි යාපනය සහ ලංකාවේ අනෙකුත් ප්‍රදේශ පාලනය කළ දෙමළ රජවරුන්ගේ ප්‍රතිමා,පැරණි කාර්, වෑන් සහ ගොන් කරත්ත එකතුවක් ද දැකිය හැකියි.

සිවභූමි යාපනය කෞතුකාගාරය ඇතුළත 

තවත් ඉස්සරහට යද්දි නාවට්කුලි දුම්රියපොළ හමුවනවා. දුම්රියපොළ අසලින් හැරිලා මන්නාරම පැත්තට ධාවනය කළොත් "නෙයිතල් බීච් සිටි වෙරළ උද්‍යානය" හම්බෙන්නේ. මේ බීච් සිටි ජලජ ක්‍රීඩාවල නිරත වීමට කදිම තැනක්. නාවට්කුලි මං සන්දියේ පසෙකින් තල් ගස් අතරින් පේන්නේ අලුතින් හුණු පිරියම් කළ ලස්සන වෙහෙරක්.

නෙයිතල් බීච් සිටි වෙරළ උද්‍යානය - facebook.com/palmyrahisland

යාපනය නම් හින්දු බැතුමතුන්ගේ හදවතයි. බැලූ බැලූ අත කෝවිල් පෙනෙන මේ පළාතේ සුදෝ සුදුවන් චෛත්‍යයක් දකින යාල් ආගන්තුකයාට මෙහෙම හිතෙනවා. අදටත් යාපනේ කියන්නේ සිංහල මිනිස්සු, අපේ දෙමළ සගයන් සමඟ සහජීවනයෙන් ජීවත් වෙන ප්‍රදේශයක්. යාපනයේ සිංහල මහා විද්‍යාලය වැහිලා ගියාට අදටත් නාවට්කුලි වගේ ගම්වල සිංහල මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. උත්තර නැති ප්‍රශ්න දහස් ගානක් තාමත් මේ බිම්වල ශේෂ වී ඇතත් ඒවාට විසඳුම් නම් තව ම නෑ.

කජ්ජාන් මුහුදු තීරය

යාපනේ අර්ධද්වීපය ඉන්දියන් සාගරෙන් වට ව තිබුණත් චාවකච්චේරිය තියෙන්නේ රට ඇතුළට ආපූ මුහුදෙන් හැදුණු පොඩි කළපුවක. ඒ කළපුවත් බලන්න හරි ලස්සනයි. චාවකච්චේරියේ "කජ්ජාන් මුහුදු තීරය"ට යන්නකුට නම් ඈතින් පේනවා සුළං කුලුණු පෙළක් සහිත සුළං විදුලි බලාගාරයක්. මේ මන්නාරම A 32 පාරට නුදුරින් පිහිටි සුළං විදුලි බලාගාරයයි.ඊට මත්තෙන් තමා තියෙන්නේ "සංගුපිටි පාලම".

සංගුපිටි පාලම 

අසා ඇති පරිද්දෙන කින්නියා පාලම යනු ශ්‍රී ලංකාවේ දිගම පාලම වන අතර එහි දිග මීටර් 396 (අඩි 1,299) ක්.එය කොඩියාර් බොක්ක සහ තම්බලගම් බොක්කෙන් වට වූ කළපුව තරණය කරනවා. එය ත්‍රිකුණාමලය, කින්නියා සමඟ සම්බන්ධ කරන, සිවිල් වැසියන්ට කින්නියා කළපුව තරණය කර A15 අධිවේගී මාර්ගයෙන් කින්නියා සහ මුත්තූර් ප්‍රදේශ කරා ළඟා විය හැකි පහසු ම මග තනනවා.

සංගුපිඩි පාලම (චැංකුපිඩි පාලම) උතුරු ශ්‍රී ලංකාවේ යාපනය කළපුව හරහා ඇති මාර්ග පාලමක්. දශක තුනක අමිහිරි මතක ඒකරාශි කරගෙන යාපනේ එක් ඉසව්වක සිට මන්නාරම දෙසට දිවෙන සංගුපිටි පාලම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංගුපිඩි හා යාපනයේ දිස්ත්‍රික්කයේ කරයිටිව් හා සම්බන්ධ කරනවා. එය ජනාකීර්ණ යාපනය අර්ධද්වීපය, ප්‍රධාන භූමිය හා සම්බන්ධ කරන පාලම් දෙකෙන් එකක්.

ගමනේ විරල දසුන්

මේ පාලම A32 යාපනය - මන්නාරම් මාර්ගයේ කොටසක්. පාලම ඉදිකිරීමට පෙර යාපනය අර්ධද්වීපය සහ ප්‍රධාන භූමිය අතර පැවති එකම මාර්ග සම්බන්ධතාව වූයේ අලිමංකඩයි. සංගුපිඩි පාලම දකුණු ශ්‍රී ලංකාවේ සිට යාපනයට යන ගමන කිලෝමීටර් 110 (සැතපුම් 68) හෝ පැය තුනකින් අඩු කරන කෙටි ම මාර්ගයයි.ඈතට විහිදෙන මුහුදත්, තැන තැන වීසි දැල් උස්සාගෙන සිටින ධීවරයනුත්, වේගෙයෙන් දියඹට ඇදෙන ධීවර යාත්‍රාත්, ඉස්සන් කොටුත්, පාර දෙපස වූ උස් විදුලි කණු මත ඊළඟ ගොදුර වෙනුවෙන් බලා සිටින උකුස්සන්ද මේ ගමනේ විරල දසුන්.

මෙම පාලමේ ව්‍යුහාත්මක සැලසුම අනෙකුත් ප්‍රදේශවල අප සාමාන්‍යයෙන් දකින අනෙකුත් පාලම්වලට වඩා බෙහෙවින් වෙනස්. මෙම වක්‍ර හැඩය පෑලිගෝඩ සිට මහනුවර දක්වා වූ දුම්රිය මාර්ගයේ ඉහළින් පියාසර කරන පාලමට සමානයි. මෙම වක්‍රය හේතුවෙන් ධීවර බෝට්ටුවලට පවා බාධාවකින් තොරව පාලම යටට යා හැකියි.

පුනරින්‍ යාපන අර්ධද්වීපයේ මල් පිපෙන භූමියයි
 

A32 මාර්ගය හරහා සංගුපිටි පාලම පසු කර මිනිත්තු පහළොවකින් පමණ පසු පූනාකරී නැත්නම් පුනරින්‍ හමුවනවා. මේ යාපන අර්ධද්වීපයේ මල් පිපෙන භූමියයි. "පූ " නම් මල් ය. " නාගරී" නම් නගරය යන්නයි. අප්‍රේල් මාසයට ආසන්න ව පිපෙන බිම් සවාන් මල්‍ නැරඹීමට කදිම නවාතැන පුනාකරීයි. විල්පත්තු අභයභූමියේ ද බිම් සවාන් බහුල ව දැක බලා ගත හැකියි.

ඌදා පූ යනු දම් පාට මල්‍ ය

ඌදා පූ යනු දම් පාට මල්‍. මේ දම් පාට මල් යාය දකින යාපනයේ ආගන්තුකයාගේ දෙතොල් අතර මිමිණෙන ජනප්‍රිය දෙමළ ගීතය නම් ඌදා ඌදා ඌදා පූ............................යි.

ටික දුරක් යද්දි චාවකච්චේරි මාර්කට් එක ඉදිරියෙන්.

නල්ල මීන්.........උඩන් මීන්.........

වාන්ගෝ.......වාන්ගෝ...............

‍ඒ තමා චාවකච්චේරි මාර්කට් එක.හොද අලුත් මාළු ලු. පරයි, සාලයෝ, කුම්බලයෝ. වර්ග ගොඩයි. ගන්න එන්න ලු.

ඕඩියල් කූල් 

ඉන් පස්සේ චාවකච්චේරියේ ඕඩියල් කූල්. මගේ දෙමළ මිතුරා තමයි සූපවේදියා. ඔන්න ඉතින් සූපවේදියා ඇඹුල් රසට සියඹලා එක්ක පදම් කරන සුප් එකට තල් පිටි, කුළු බඩු වර්ග, කණවායි(දැල්ලෝ), රාල්(ඉස්සෝ), නන්ඩු(කකුළුවෝ)දානවා විතරක් නෙවේ මාළුත් දානවා. සූපවේදියා ඉතින් පදමට හැදි ගාන ගමන් හොද කකුලුවන් තෝරන විදිහත් කියනවා.

"කකුලුවාගේ පිට පැත්තට වෙන්න කහ පාටට හුරු බිත්තර වගේ තියනවනම් ඒ තමා හොද කකුලුවෝ"

"මුහුදු ආහාර, තල් පිටි ඇරුණ ම කුළුබඩුවලට අමතර ව ඔන්න එළවළුත් දානවනම් ඒ තමා සාම්ප්‍රදායික ඔඩියල් කූල් " ඒ සූපවේදියාගේ අම්මා.

දැන් ඉතින් මගේ ස්නායු ආවේගය වේගවත්. ඛේට ග්‍රන්ථිත් ඔක්කොම උත්තේජනය වෙලා. ඛේටය ස්‍රාවය වෙන්නත් පටන් අරන්. ඉස්පාසුවක් නෑ.
රස ගණනාවක සම්මිශ්‍රණයක්. ඒකට ම ආවේණික සුවඳක්. රස බලන්න වෙලාව. සාම්ප්‍රදායික විදිහට ම ඔන්න තල් කොලේකින් හදපු ගොට්ටක දාලා තමා පිළිගැන්නුවේ. පොල් කට්ටක දාලා පොල් කොලේකින් කපා ගත්ත හැන්දක් වගේ තීරුවක් එක්කත් පිළිගන්වන්න පුළුවන්. ඒ තාමා චාවකච්චේරියේ ඕඩියල් කූල්...

චාවකච්චේරියේ ඕඩියල් කූල්

චාවකච්චේරියේ ඕඩියල් කූල්වලින් සප්පායම් වුණු අපේ මීළඟ ගමනාන්තය නම් සරසාලෙයි. රෝස පාට උස ෆ්ලැමින්ගෝ කුරුල්ලෝ බලන්න. ඔවුන් සංක්‍රමණ පක්ෂීන් විශේෂයක් (Greater flamingo (Phoenicopterus roseus). සිංහලෙන් කියන්නේ රාජ සියක්කාරයා, දෙමලෙන් කියන්නේ පෙරුම් පූනාරේ (பெரும் பூநாரை) කියලා.වසරේ එක් කාලයකදී ලංකාවට පියාසර කරන මොවුන් බොහෝවිට යාපනය අර්ධද්වීපයේ තැන් තැන්වල ඒ කියන්නේ අලිමංකඩ, මන්නාරම, සරසාලේ, කුරුවික්කාඩු, තොන්ඩමන්නාරු, කයිට්ස් වගේ ප්‍රදේශවල සමූහ ලෙස ඒකරාශි වෙනවා.

සරසාලෙයි රෝස පාට උස ෆ්ලැමින්ගෝ කුරුල්ලෝ 

කුරුවික්කාඩු........
"කුරුවි" නම් පක්ෂීන්‍. " කාඩු " නම් රක්ෂිතය යි. දෙමළ නම් බොහෝමයක සිංහල තේරුම මෙසේ වටහා ගත හැකියි.

අසා ඇති අන්දමට නම් යාපන අර්ධද්වීපය "නයිනතිව් " ලෙස එකල හැඳින්වූවා. ලක්දිව එකල යක්ෂ නාග ගෝත්‍රිකයන් ජීවත් වුණා. නයිනතිව් නම් නාගයන්ගේ දිවයිනයි. ජනප්‍රවාදයකට අනුව නම් නිලවරායිහි ඇති පතුල නැති ළිඳ: දැන්නම් පතුලක් ඇති ළිඳ එකල්හි නාගයන් නාගලොවට යාමට භාවිත කළ පියගැට පෙළක්.

සරසාලෙයි කියන කඩොලාන රක්ෂිතය බලන්න යන්න හේතුව අර ෆ්ලැමින්ගෝ කුරුල්ලෝ. ආයෙත් කියන්න ඕන අපි ගියේ රාජ සියක්කාරයෝ බලන්න. ඒත් අපි ගියේ හවසක. කියන්නම ඕන දේ තමා මේ කුරුල්ලෝ බලන්න යනවනම් මහ පාන්දරක තමා කැමරාවත් අරන් යන්න ඕනේ.

 ආදරයේ සංකේතය 

නැගෙනහිර ඉන්දු වෙරළ තීරය ඔස්සේ පහළට පියඹා කැල්මියන් තුඩුවත් රාමේෂ්වරනුත් පසු කරන මේ ෆැලැමින්ගෝ කුරුලු විශේෂය ලක්දිවට සංක්‍රමණය වන්නේ ප්ලාවාන්ග හා කුඩා මසුන් ආහාර ලෙස සපුරා ගැනීමටත්, මුල් වාසභූමිවල ශීත දේශගුණයෙන් මිදීමත් සදහායි. අර්ධද්වීපයේ වූ කුඩා කලපුවල වූ උනුසුම් ජලයේ ජීවත් වීමට මොවුන් ප්‍රිය කරන අතර ලක්දිවට නැගෙනහිරින් රටට ඇතුළු වන මොවුන් බූන්දල දක්වා ව්‍යාප්තයි. රෝස - කලු පැහැති මොවුන්ගේ පාද ගැඹුරු ජලය තුළ ඇවිදීමටම සකස් වූ ඒවායි. පියැඹීමට අවශ්‍ය ශක්තිය මොවුන් ලබාගන්නේ තනි පාදයෙන් වීම විශේෂිතයි.

"සියක්කාරයෝ" නම් පොළවේ සීසාන්නෝයි. පාද දෙක හා හිස දියෙහි ඔබාගෙන මසුන් සොයන මොවුන්ගේ ඇස් දිය යට දී පවා විවර වී ඇත. මේ ආහාර සෙවීම හුදෙක් නර්තනයක් හා සමානයි. තැන තැන එක එකා කොටා ගැනීම නැතහොත් ප්‍රේම කලහ සුලබ දසුනක්‍. අනතුරක් සැල වේ නම් රංචුව ම පොකුරකට ඒකරාශි වනුයේ කාගේ හෝ විධානයකට ද? පක්ෂීන් දහසකගේ සංක්‍රමණ චර්‍යා රටා හදුනාගැනීමට අලිමංකඩ හෝ මන්නාරම බලා යා යුතුයි. 

සරසාලෙයි කඩොලාන රක්ෂිතය 

කඩොලාන පරිසරයක් කියන්නේ ලෝකයේ වඩාත් ම පලදායී පරිසර පද්ධතියක්.යාපනය වගේ වියළි කලාපීය ප්‍රදේශයක තැන තැන නිර්මාණය වූ වගුරු බිම් ආශ්‍රිතව තියෙන මේ කඩොලාන පරසර සංචරණ පක්ෂීන්ට කියාපු තැනක්. සොයා බැලූ පරිද්දෙන් මේ අතර වඩාත්ම ව්‍යාප්ත වූ කඩොලාන විශේෂය නම් අවිසීනියා මරීනා (Avicennia marina )වඩාත් සුලභ විශේෂයයි. දූපත් ප්‍රදේශ වන මන්ඩයිටතිව්, සිරුතිව්, කුරුසාඩිතිව්, කුරිකාඩ්ඩුවන් සහ පුන්ගුඩිටතිව් (Mandaitivu, Sirudivu, Kurusaditivu, Kurikadduvan and Pungudutivu ) ප්‍රදේශවල මේ කඩොලාන ව්‍යාප්තයි. මීට අමතරව යාපනයේ උතුරු හා ඊසානදිග සමහර ප්‍රදේශ වන තොන්ඩමන්නාරු, අම්පන් සහ චෙම්පියන්පට්ටු ප්‍රදේශවල එය දුර්ලභ යි.

"ඉල්වාරෙයි" දිය අගල

සරසාලේ සංචාරයට මත්තෙන් හමුවන තවත් එක් ගමනාන්තයක් නම් "ඉල්වාරෙයි" දිය අගලයි. අක්කර ගණනාවකට විහිදී ඇති කුඹුරු යායවලට ජලය සපයන එක් මූලාශ්‍රයක් නම් මේ ඉල්වාරෙයි දිය අගලයි. මෙය වර්ෂා සමයේ ජලයෙන් පිරී පවතින, අනෙක් කාලවලදී ජලය නොමැතිව පවතින බොහෝ සංචාරකයන්ගේ ඇස ගැටෙන ස්ථානයක්.

"ඉල්වාරෙයි" දිය අගල 

චාවකච්චේරියේ අස්සක් මුල්ලක් නෑරම කරක්ගැසූ මේ ආගන්තුකයාගේ මීළඟ ඉසව්ව වන්නියේ වරණියයි. චාවකච්චේරියේ සිට මීසාලෙයි පහුකරගෙන කොඩිකාමම්වලට කි.මී. 2 ක් උතුරින් පිහිටි යාපනය අර්ධද්වීපයේ තෙන්මරාච්චිවල පිහිටි ආගමික ජීවිතය හා අධ්‍යාපනය කේන්ද්‍ර කර ගත් කෙත්වතුවලින් සාරවත් වූ කෘෂිකාර්මික නගරයයි, වරණි.

වරණියේ වන්නිය 

පුරාණ කාලයේ ස්වාභාවික වාසස්ථාන නිසා මෙම ප්‍රදේශය අනෙකුත් ප්‍රදේශවලට වඩා යෝග්‍ය යැයි සලකා ඇති බැවින් මෙම ප්‍රදේශය වරණි ලෙස හඳුන්වා තිබුණා. වරානි නම් ගෝත්‍රික කණ්ඩායමක් වාසය කර ඇති නිසාත් එය වරණි ලෙස හඳුන්වනවා. එහි පුරාණ කාලයේ බොහෝ බ්‍රාහ්මණ ජනාවාස බහුල ලෙස පැවති නිසාත් වරණි යන නම ඇති වන්නට ඇති බව සැලකිල්ලට ගැනීමත් වැදගත්.

වරණිය





Sunday, November 14, 2021

4. යාපනේ නිලවරායි පතුල නැති ළිඳ අසල සංඛාභිශේකය

 


සැතපුම් ගණනාවක් දිව ආ යාල් දේවියෙන් යාපනය වෙත ආ අපි මේ ගමන සුදානම් වෙන්නෙ පූතූර් (புத்தூர்) යන්නයි.

යාපනේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් පහළොවක පමණ දුරක් හරියට ම කිලෝමීටර් 14.9 ක් දුරින් තමයි පූතූර් තියෙන්නේ. යාපනේ-නාවක්කිරි 986 බස් එකේ තමා පූතූර් යන්න ඕනේ. මතක හැටියට නම් රුපියල් තිහ හතළිහක දුරක්. පූතූර් තියෙන්නේ යාපනේ "වලිකාමම්" කියන කොටසේ.

උතුරු අර්ධද්වීපයට නම් හොඳට ම ඉර මුදුන් වෙලා. හිරු පොළොවට ළං වී ගමන් කරන කාල සීමාව නිසා මහ පොළොව ගිනිබත් කරන්න තරම් කාස්ටක අව්ව. කාස්ටක අව්ව හැමෝට ම සමාන ව දැනුණා.

කාස්ටක අව්ව හැමෝට ම සමාන ව දැනුණා 

යාපනය අර්ධද්වීපය කියන්නෙ කොටස් පහක එකතුවක්. වලිකාමම්, තේන්මරච්ච්, යාල්පානම්, වඩමාරච්චි හා දූපත් හතකින් නිර්මාණය වුණු භූමි භාගයක්. යාපනයේ මස්තිෂ්කය විදියට හඳුන්වන්නේ වඩා නැත්නම් වඩමාරච්චි. යාපනයේ මස්තිෂ්කය විදියට වඩමාරච්චි හඳුන්වන්නේ ඇයි කියා ඇසිය යුත්තේ වඩමාරච්ච්වලම අයකු ගෙන්.

ලංගම බස් එකක නැගලා අපි පූතූර් යන ගමන පටන් ගත්තා. තේනු, මගේ සගයා තමා නඩේ ගුරා. අපි යන්නේ එයාගේ ගමේ පන්සලේ එහෙම නැත්නම් කෝවිලේ උත්සවේට.

"සංඛාභිශේකම්" බලන්න. ඒ අතර ම තවත් විශේෂ දෙයක් බලන්නත් එක්ක.

යාපනේ ඉඳන් කිලෝමීටර් 13.9 ක් දුරින් තමයි පූතූර් තියෙන්නේ 


යාපනයේ කෑම රසට කන්න පුළුවන් නල්ලූර් භවන්

පූතූර් යන බස් එකේ වැඩි සෙනඟක් නෑ. අපි හතර දෙනා ම පිටිපස්සේ සීට් එකේ. යාපන ටවුමෙන් එළියට ආව බස් එක පලාලි පාර දිගේ ඉස්සරහට යනවා. ආරියකුලම් හංදියේ සිග්නල් එකෙන් දකුණට දාලා නාග විහාරේ පහුකරනවත් එක්ක ම නල්ලූර් කෝවිලට යන පාර. එතනින් පොයින්ට්පෙඩ්‍රෝ නැත්නම් පේදුරුතුඩුව පාරට හැරෙනවා.

මාත් වට පිට බල බල යනවා. පැත්තක පේනවා රියෝ එක. ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් කර්මාන්තශාලාව. පස්සේ ඔන්න ලින්ගම් අයිස්ක්‍රීම් කඩේ. කෝකෙත් අයිස්ක්‍රීම් හරිම රසයි. එයිට පොඩ්ඩක් නුදුරින් තමා තියෙන්නෙ යාපනයේ කෑම රසට කන්න පුළුවන් නල්ලූර් භවන් භෝජන ශාලාව.

රතු, සුදු තීන්ත තීරු ආලේප කරපු උස් බිත්තිවලින් වට වුණු නල්ලූර් කන්දසාමි කෝවිල

ඒක පහුවෙනවත් එක්ක ම රතු, සුදු තීන්ත තීරු ආලේප කරපු උස් බිත්තිවලින් වට වුණු නල්ලූර් කන්දසාමි කෝවිල (நல்லூர் கந்தசாமி கோவில்; Nallur Kandaswamy Kovil) පහු වෙනවා. මේ නල්ලූර් කෝවිල යාපනයට හරි අපූර්ව තේජස් බවක් එකතු කරන්නෙ. කෝවිල පසුකරද්දි එන ලාක්ෂණික සුවඳ, බෙර නළා හා වන්දනා විධිවල හඬ හිතේ ඇතිකරන්නෙ අපූර්ව සංයමයක්.

දැන් බස් එකේ කලින් තිබුණු මන්දගාමී බව අඩු වෙලා. බස් රථය වේගයෙන් ඉස්සරහට යනවා.

ටිං...................ටිං...........................

බස් එකේ හඬ මගේ දෑහන බිඳිනවා.

බස් රථයෙන් ඔළුව එළියට දාලා කුතුහලයෙන් අවට බලන මට පේන්නේ පාර දෙපැත්තේ තල් ගස් යායවල්, දිගේලි කරපු ගව පට්ටි, එළු රංචු. ඒ අස්සෙ ම පොඩි පොඩි වගා බිම්. රතු ලූනු, කැරට්, බණ්ඩක්කා, අමු මිරිස් , රතු අල , මෑ කරල් වගේ එළවළු. අතරින් පතර පේන සාරවත් කෙසෙල් වගාව නම් හරිම පලබරයි. තවත් වෙලාවක තල් ගස් අතරින් පේන්නේ හොඳින් වැඩෙන දුම්කොළ වගාවක්. මේ මොන කාස්ටක අව්වක් ආවත්, මහා සුළි සුළං එක්ක වැස්සක් ආවත් යාපන වියළි කලාප බිම පුරාවට ම සරුසාරෙට වැඩුණු ගොවිබිම්වලටනම්, මේ මහ පොළොව ඉරි තලන අව්ව මහා අරුමයක්යැ.

පීදීගෙන එන බටු වගාව 

ඒ වගා කවදත් මේ භූමියෙන් පෝෂණේ උරාගෙන සරුසාරෙට වැඩෙනවා. මේ මහ කටෝර පොළොව ඕන දේකට ඔට්ටුයි. මහ පොළොව එක්ක පොරබදින යාපන ගොවියන්ගෙ සවිය,දිරිය, කැපවීම තමා වගාබිම් පුරාවට ම තියෙන්නෙ. මේ භූමිය සශ්‍රීකයි .සංචාරය කරන්නකු මග දෙපස හොඳින් නිරීක්ෂණය කළොත් පේන්නේ අක්කර ගාණක් ඈතට විහිදුණු කුඹුරු ඉඩම්.

රටට ම අල, ලූණූ , මිරිස් සැපයූ යාපනේ ගොවි රජවරු

බණ්ඩක්කා, අර්තාපල්, ලූණූ, අමු මිරිස්, බීට් රූට්, කැරට් ආදි එළවළුත්, කෙසෙල්, අඹ, මිදි වැනි පලතුරුත්, විවිධ පලා වර්ගත් සාරවත්ව වැඩෙන භූමියක්. අවුරුද්ද පුරාවට හරි හමන් වැස්සකුත් නැතිව වැවෙන මේ බව භෝගවල පලදාවෙන් පෙන්නේ උතුරු අර්ධද්වීපයේ ගොවි මහත්තුරුන්ගේ උත්සාහය හා කැපවීමක තරම බව තමා මගේ හැඟීම. අද පමණක් නෙවේ මින් දශක ගණනාවකට මත්තෙන් ‍රටට ම අල, ලූණූ , මිරිස් සැපයූවේත් මේ යාපනේ ගොවි රජවරුන් ම තමා.

හරි හරියේ වැඩීගෙන එන රට කජු වගා බිමක අසිරිය 

ටිං...................ටිං..............................

තවත් අයෙක් බසයෙන් බසිද්දී එකා දෙන්නා බසයට නැවතත් ගොඩ වෙනවා. අපි තව තවත් ඉදිරියට යන්නේ අපේ ගමනාන්තය තවත් දුරක වූ නිසා විය හැකියි. රථය ඉදිරියට යන්නේ පාර පුරාවට ම දූවිලිත් අවුස්සාගෙනයි.

අව්වත් තදට ම සැරයි. අව්වෙ සැර හිසට ආරෝපණය කර ගත් බසයේ රියදුරු මහතා සුක්කානම කරකවන්නේ මහකලබලෙන් වගේ. රථයේ වේගයට වැඩි නිසා දෝ පාපැදිවල ගිය පිරිස් පාර දෙපැත්තේ ඒවා නවත්තාගෙන බස් රථය දෙස බලාසිටින්නේ මනා සංයමයකින්. දැන් බස් ගමනට හෝරාවක් ගත වී අවසන්‍.

කාස්ටක අව්ව එක්ක පොර බදින මහ පොළොව

ටිං..................ටිං...................ටිං.............

ප්‍රසිද්ධ පතුල නැති ළිඳ (bottomless well) පිහිටලා තියෙන්නේ මේ ප්‍රදේශයේ. අදටත් ලක්දිව නොවිසඳුණු අබිරහස් ගණනාවක් ම ශේෂයි. කළු දිය පොකුණ, ත්‍රීකුණාමලේ ෆෙඩ්‍රික් කොටුවේ පාතාලමලේ හා රාවණා ගේ දඩු මොනරේ ඒ අතර ප්‍රධානයි.

ළිඳ ගැන ජනප්‍රවාද ගොඩක එකතුවක් 

යුද්ධයෙන් පස්සේ යාපනේ සංචාරය කළ කෙනෙක් නම් ඉතින් මේ තැනට ගිහින් ඇති. ජනප්‍රවාද ගොඩක එකතුවක් තමා මේ ළිඳ ගැන අහන්න ලැබෙන්න ඇත්තේ. එයින් කීපයක් මේ.

ලක්දිව ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර විසූ නාග ගෝත්‍රිකයන් මිහිපිට සිට නාග ලොවට යාමට යොදා ගත් පියගැට පෙළක් සහිත ළිඳ, නාවට්කන්නී මේ ළිඳ, නිලවරායි ළිඳ යි.

රාම රජු සමඟ යුද වැදී ඉන්දියාවට යන රාම කුමරු හා සීතා අතරමඟ දී දිය පිපාසය සන්සිඳුවා ගැනීමට රාම කුමරු ත්‍රිශූලයෙන් පොලවට ඇන දිය ලබා ගත් ස්ථානය නිලවරා යි.

නාගදීපයට වැඩි බුදුරජාණන් වහන්සේට පැන් පානයට ශක්‍ර දේවේන්ද්‍රයා මැවූ ළිඳ, නිලවරායි ළිඳ යි.

බොහෝ දෙනකු ගේ මතය වන්නේ යාපනයේ නිලවරායි හන්දියට ආසන්න ව පිහිටා ඇති සුවිසල් ළිඳ පතුලක් නොමැති කුහරයක් පමණක් බවයි. එය ‘පතුලක් නොමැති ළිඳ’ යැයි හැඳින්වීමට බොහෝ අය පුරුදු ව ඇත්තේ එනිසා යි. සමහරුන් කියන්නේ මේ ළිඳ මීට කිලෝ මීටර 04ක් දුරින් ඇති කීරමලේ පොකුණ හා සම්බන්ධ බවයි. අභ්‍යන්තර දෝනාවකින් මාතලේ ප්‍රදේශයේ ඇති උල්පත්වලින් මේ ළිඳට ජලය ලැබෙන බව තවත් අය පවසනවා.

වගාබිම්වල පස සාරවත් කරගන්න නයිට්‍රජන් හොදින් තිර කරගන්න වගා කරන සනල් නම් ශාක විශේෂයක්

මෙය ළිඳක් ලෙස හැඳින් වුවත් බැලූ අයුරින් හුණුගල් ආවාටයක් බවයි මෙහි ගවේෂණයක යෙදුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම පවසන්නේ. පිරිසුදු නිල්වන් දිය පිරුණු මෙම ළිඳ ඉතා ගැඹුරුයි. ඒ බව ළිඳ මතුපිට සිට බලන අයට පවා අවබෝධ වන්නක්.

මුහුදු ජලයත්, ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන් වන මායිම

මේ පළාතේ දිය පවස වසර සිය ගණනක් පුරා නිවූ මේ ළිඳ අසල පැරණි දාගබක නටබුන් හා හින්දු කෝවිල් කිහිපයක් ද වනවා. මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසත් නම් කර තිබෙනවා. මේ ළිඳ මීටර 14.5ක් දිගින් හා පළලින් මීටර් 10.7ක්. ළිඳ වටා සිමෙන්ති යොදා ළිං බැම්මක් සකසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන් ආරක්ෂිත වැටක් ද ඉදි කරලා.

ප්‍රසිද්ධ පතුල නැති නිලවරායි ළිඳ 

“මේ ළිඳේ ඝනත්වයෙන් වැඩි පතුලේ ඇති මුහුදු ජලයත්, ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම මෙහි පැහැදිලි ව දකින්නට ලැබෙනවා. එම ස්ථානයේ විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය ඉතා ආකර්ශනීය දර්ශනයක්.”

යැයි මෙහි ගවේෂණයක යෙදුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම පවසනවා.

පර්යේෂකයන් පවසන්නේ මේ ළිඳේ ජලය ඉතා නිශ්චල බවයි. මතුපිට ජල මට්ටමේ සිට මීටර 40ක් පමණ ගැඹුරට ගිය විට ළිඳේ පත්ල මුහුදු පුරාවිද්‍යා කණ්ඩායමට හමු වී තිබුණා. ඔවුන් පවසන්නේ පතුලක් නොමැති බව පවසන මේ ළිඳට හිරිගල්වලින් සෑදුණු පතුලක් තිබෙන බවයි.

ළිඳේ කටට වඩා පතුලේ වට ප්‍රමාණය වැඩියි 

ගවේෂකයන් කියන්නේ ළිඳේ කටට වඩා පතුලේ වට ප්‍රමාණය වැඩි බවයි. ළිං පතුළට යන විට ගුහාවක් තුළට යනවා සේ දැනෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ හිරිගල් ස්ථරය මයෝසීන යුගයට අයත් බව හඳුනා ගත හැකි වුණු බව හිරිගල් බිත්තියේ සාම්පල කිහිපයක් පරීක්ෂා කිරීමේ දී අනාවරණය වූ බව ගවේෂකයන් පවසනවා.

ළිඳ පහුවෙද්දි ම අපේ ගමනාන්තය, තේනුජා ගේ ගම "පූතූර් ".

ටිං................ටිං................ටිං.............බසය ඉද්ද ගැසුවාක් මෙන් නවතියි.

ඉරන්කු ! (இறங்கு!- බහින්න!) ඒ තේනු හඬයි.

ඒ අපේ ගමනාන්තය නිලවරායි…!

නාගලොවට යන පියගැටපෙළ යයි ජනතාව විශ්වාස කරන තරන තැන

දූවිලිවලින් නෑවිච්ච අතුරු පාරවල්

අප බස් රථයෙන් බසිනවාත් සමඟ ම දූවිලි අතරි බසය නොපෙනී ක්ෂණිකව ඈතට ම දිව ගිය අයුරු පුදුමයක්.

දූවිලිවලින් නෑවිච්ච අතුරු පාරවල්.ඒ තරම් කාස්ටක අව්වක්.පාර දෙපැත්තේ නිල්ල ගැසුණු කුඹුරු වගා බිම්. සන්සුන් ඉරියව්වෙන් ඒවා මට කියා පාන්නේ යාපනේ පොළොවනම් කවදත් අපේ දෙමළ සගයන් හා උරණ වී නැති හැඩයි.

තේනුගේ ගමේ කෝවිල තිබුණේ විශාල නුග ගසක් අසල. පසෙක මහා සියඹලා ගසක්. තවමත් අවට සන්සුන්‍. සීනුවක් එල්ලා ගත් ගවයෙක් නොසන්සුන්ව ඒ මේ අත දුවන්නට පටන් ගත්තේ මේ ආගන්තුකයන් ගේ ආගමනය නිසාද?

මොකක්ද මේ " සංඛාභිෂේකය" කියන්නේ? තේනුට මගෙන් පැනයක්.

"සංඛ "කියන්නේ හක්ගෙඩිය, අභිෂේකම් කියන්නේ යම් පූජනීය වස්තුවක් කිසියම් දියරයකින් නෑවීම. සංඛ පමණක් නෙවෙයි ප්‍රතිමා, ශිවලිංග ආදිය ජලය, කිරි, ගිතෙල්, දී කිරි, මී පැණි වැනි විවිධ දියර වර්ගවලින් නහවන එකයි.

මෙය සංඛ එක් දහස් අටක් යොදා ගෙන කරන පූජාවක් 

මෙය නම් වාලම්පුරි,එහෙමත් නැත්නම් හක් බෙල්ලන් (සංඛ) එක් දහස් අටක් යොදා ගෙන කරන පූජාවක් බවයි තේනු කියන්නේ. ශිව ප්‍රතිමාවක් ඉදිරිපිට කුඩා ගිනි ගොඩක්. පසෙක නළා වාදකයෙක් හා බෙර කරුවෙක්. ස්වර ගළපමින් වයන ඔවුන් දෙදෙනා ගේ රිද්මය සමඟ පූජාව ආරම්භ වූවා. පූජකවරයා විවිධ දෑ ගින්නට දමමින් පාඨ මුමුනයි. ගිනි ජාලාවලින් ඒවා දැවී අලු වී යන්නේ ක්ලේශයන් දැවී යන්නා සේයි. පූජාවේ අරමුණ ද එයමයි. ඇදහිලි, විශ්වාස පුදුමාකාරයි.

සංඛ එක් දහස් අටක් යොදා ගෙන කරන පූජාවක්

තවත් අයෙක් ශිව ප්‍රතිමාව කහ දියර,එළ කිරි,තැඹිලි, ඖෂධ වර්ග ,පලතුරු යුෂයෙන් නාවයි. උඩු කය නිරුවත් වේට්ටියෙන් සැරසුණු පුද්ගලයන් සිව්දෙනෙක් ගණ දෙවි ප්‍රතිමාවක් ආසනයක හිඳුවා කර මතා තබා ගෙන පාඨ කියමින් කෝවිල වටේ රැගෙන යයි. මේවා විවිධ සංස්කෘතික අංගයි. හෝරා දෙකක් ම ගත වී අවසන්‍.

සන්සුන් මා නො සන්සුන්වී ගෙන එන පාටකි.කෝවිලේ සෙනඟ ද එකා දෙන්නා වැඩී වීගෙන එයි. ඔවුන්ගේ ඇස පූජාවටත් වඩා මේ නුපුරුදු ආගන්තුකයා දෙසට යොමු වී ඇත. පූජාව අවසන් වෙද්දී ඉර මුදුන් වී අවසන්.

දැන් ඉතින් ගමනේ රසවත් ම කොටසයි. කෝවිලේ දිවා භෝජන වේලාවයි. කෝවිලට ආ සියල්ලන් සිටින්නේ බිම අසුන් ගෙනයි. අයෙක් ඔවුන් ඉදිරිපිට කෙසෙල් කොළ එළා ගෙන යද්දී අනෙකුන් වෑංජනත්, බතුත් තවත් අයෙක් බෙදයි. බත රතු පාටයි. ඇට තරමක් විශාලයි. වෑංජන කීපයක් හා පපඩමක් සමඟ බැදපු මිරිස් කරලක්.‍ රස ගැන කිවයුතු නැත. කා හමාර වී නැවත නැගිටීමත් අපහසුයි.

භෝජනයෙන් පසු "පාලහාරම්" එනම් රස කැවිලි වාරයයි

භෝජනයෙන් පසු "පාලහාරම්" එනම් රස කැවිලි වාරයයි. ධාන්‍ය, පොල් පැණි එක් කළ "මෝතගම්" ප්‍රණීතයි. අසා ඇති අන්දමට එය නම් ගණ දෙවියන්ගේ ප්‍රියත ම ආහරයයි. ඉන්පසු රට ඉඳි - කෙසෙල් එක් කළ තවත් අතුරුපසක්.නම නම් නොදනියි. ඒ රසය මාගේ රස නහර තුළ තවමත් දුවනවා.

ටිං..........ටිං.........ටිං...........................ඒ නම් කෝවිලේ සීනු හඬයි. එය සිහි කරන්නේ අප ආපසු යා යුතු වේලාව ළඟා ව ඇති බවයි. දුවිලි අවුස්සා ගෙන යාපනය බලා නැවත දිවෙන බස් රථය තව මොහොතකින් කෝවිල ඉදිරියට එනු ඇති. 

Wednesday, November 3, 2021

3. චෙම්මනි යන පාරෙන් එන්න ගත-සිත නිවන නොන්ගු බොන්න


 මේ මගේ යාපනයේ පිලිබද සටහන් ගොනුවක්....

කියවන්න ඔබට ආරාධනා 

උතුරු අර්ධද්වීපයේ තල් සෙවණට වී හින්දු සංස්කෘතියේ අපූරුතම අංග, උත්සව දැක එහි මිහිරියාව රසවිදිමින්, විවිධත්වය උගනමින් කුළුබඩුවලින් රස ගැන්වූ කකුලුවන්, ඉස්සන්,දැල්ලන් සමග ඕඩියල් පිට්ටු,කුරක්කන් ඉදිආප්ප,තෝස,වඩ මෙන්ම ධාන්‍ය යොදා සැකසූ මෝතගම්,කොලුකටෙයි,පනම්කායි පනියාර්,කේසරි ආදි වූ රසවත් විවිධත්වයෙන් යුතු භෝජන රසවිදිමින් සංචාරයක ඉසව්වන් සොයා වඩමාරච්ච් , තේන්මරච්ච්,යාල්පානම්,වලිකාම්මහි මග දිගට සංචාරය කරන යාල් ආගන්තුකයාගේ අත්දැකීම් හා චායාරූප සමූහයක එකතුවකි.එන්න යාල් දේවියෙන් කාශ්ටක ‍යැයි කියන නමුත් භවබෝගයෙන් ඵලබරවූ යාල් අර්ධද්වීපයේ සුන්දරත්වය නරඹන්න .සහෝදරත්වයේ අත්වැල් පවුරු බදින්න.

Hi guys, go through the following links to read about Land of the palmyrah and heart of the Island’s Hindu culture, Jaffna. And how they offer some delightful crunchy munchies. This is the time to chew into those sweets, spicy or downright alien flavors of exotic Jaffna.

යාපනේ නගර සීමාවේ ඉදන් A 9 පාර දිහාවට යන්න තියන හොඳ ම කෙටි පාර තමා චෙම්මනී පාර. කෙළින් ම ඔය පාරෙන් ගියොත් වැටෙන්නේ චාවකච්චේරි  නගර සීමාවට.

නල්ලූර් කෝවිල පහුකරගෙන පේදුරුතුඩුව පැත්තට යනකොට දකුණු පැත්තට වෙන්න, ගාම්භීරව ඉන්න සංකිලි රජතුමාගේ පිළිමයක් හම්බ වෙනවා.සංකිලි කියන්නේ යාපනය  රාජධානිය පාලනය කළ රජ කෙනෙක්. චෙම්මනී පාර පටන් ගන්නේ එතනින්. තල් ගස් අතරින් ඉස්සරහට යද්දී A 9 පාර ළඟදි , මහා විශාලෙට ඉදිකරපු තොරණ් රාජයෙක් එක්ක චෙම්මනී පිවිසුම් ද්වාරය පේනවා.

චෙම්මනී පිවිසුම් ද්වාරය - facebook.com/palmyrahisland

වසර ගාණක් ආපස්සට හැරිලා බැලුවොත් නම් ඉතින් මේ චෙම්මනී පාර ගැන රස කතා නෑ. අපේ දෙමළ කවියෝ ඒ ගැන හරි හරියට කවි ලියා තියෙනවා. මේ චෙම්මනි පාර දෙපැත්තේ තල් ගස්  මුරකාවල් ලාගෙන පේළියට ඉන්නේ වැළලී ගිය  අඳුරු අතීතයේ බිහිසුණු කතා රැසක් මතකයේ දරාගෙන.  

යාපනේට ඉතින් කවදත් හොඳට ම කාස්ටක අව්ව. වැහි පොද එන්නේ එහෙන් මෙහෙන් වගේ.  මන්දාරමත් එක්ක වැටෙන මේ පොද වැස්ස  අර ඉරි තැලුණු මහ පොළොව කොහොම එක්තැන් කරන්නද මන්දා.

ජූලි මාසෙ ආඩිකූල් 

මේ පටන් ගන්නේ නිරිත දිග මෝසම් සුළඟ සමඟ එන  වර්ෂා කාලය. ඒ නිසා මුහුද පැත්තෙන් හමා එන හුළඟත් හරිම සැරයි.

ලංකාවේ කෘෂිකර්මාන්තය මෝසම් වර්ෂා සමඟ යා වෙන්නක්. ඒ යල කන්නය සහ මහ  කන්නය විදියට.

මෙහෙ කියන විදියට හිරු පොළොවට ළං වී ගමන් කරන කාල සීමාව "යල කන්නය ". ඉතිරි කාල සීමාව  "මහ කන්නය". ඊසාන දිග මෝසම් වර්ෂාව ලැබෙන්නේ මහ කන්නයට අයත් වන දෙසැම්බර් සිට පෙබරවාරි කාල සීමාවේ. නිරිත දිග මෝසම් වර්ෂාව නම් අප්‍රේල් සිට අගෝස්තු කාල සීමාවේ. මේ අධික වර්ෂාවෙන් කුඹුරු ඉඩම් අස්වද්දා ලබා ගන්නා අග්‍රපලය යොදාගෙන හින්දු බැතිමතුන් ජනවාරි මාසයේ "තෛපෝන්ගල් " සමරනවා.

ජූලි මාසයේ රස බලන්න පුළුවන් අවේණික ආහාර වට්ටෝරුව තමා " ආඩිකූල්"

ඌෂ්ණත්වය පාලනයට හොඳ ම පානය ආඩිකූල්

වර්ෂය අවසන් වෙද්දී අස්වැන්නෙන් සකසාගත් සහල් හිඟ කාලය උදාවෙනවා.ඒ නිසා වෙනත් අනුභෝග වන ධාන්‍ය ආදිය ආහරවලට එකතු කර ගත යුතු වෙනවා. එය සංකේතවත් කරන්නේ මේ "ආඩි පිරප්පු " පූජාවත් සමඟ. තවත් අයෙකු දරන මතය අනුව මේ ඇරඹෙන්නේ සූර්යයා ‍රශ්මි විහිදුවාලන බොහෝ ඌෂ්ණ අධික සමය. මේ සමයේ ශරීර ඌෂ්ණත්වය පාලනය කිරීමට හොඳ ම පානය ආඩිකූල්.

අර්ධද්වීපයේ එක යායට උසට වැවුණු තල් ගසුත් අහස දිහා බලාගෙන ඉන්නේ , කවදා  මහ වැස්සක් වැටෙයිද කියන බලාපොරොත්තුවෙන්.

චෙම්මනි පාර දෙපැත්තේ යායට  පීදී කිරිවැදුණු ගොයම ගොවියාට අස්වනු දන්දී ඉපනැලි වෙලා. මේ කුඹුරු යායවල් දැන් ගව රංචු දිගෙලි කරන්න කියාපු තැන්.

මෙහෙ කුඹුරු වැඩ  ගොඩක් ම වෙන්නේ ලොකු යකඩ ගොඩවල් එක්ක පොර බදන ගමන්.මොකද පේන නොපෙනෙන මානයේ තියෙන්නෙ කුඹුරු.ඒ අස්සෙ ම කුඹුරුවල එකෙළ මෙකෙළ වෙමින් උලාකන ගව රංචුවලත්, එළු රංචුවලත්  අඩුවක් නම් නෑ.

නොන්ගු, අපේ පළාත්වල කුරුම්බා හා සමානයි. මේවා " තල් කුරුම්බා "

පාර දෙපැත්තේ දිය අගල් නැතුවා ම නොවෙයි. වැහි කාලෙට ඒවා හොඳට ම වතුර පිරිලා වුණත් දැන්නම් ලොකුවට වතුර නෑ. නාවට්කුලි පාලම පහුවෙද්දි වතුර පිරුණු දිය අගල් දකින්න පුළුවන්.

දන්නවද තවත් දෙයක්? බටහිර අහසේ ගිලෙන ඉර බලන්න කියාපු තැන තමා මේ චෙම්මනී පාර. අහස් කුසේ වර්ණ ‍රටා බලන්න හරි අපූරුයි.

උතුරු අර්ධද්වීපයට  හොදටම ඉර මුදුන් වෙලා. මහ පොළොව ගිනිබත් කරන්න තරම් කාස්ටක අව්වක්.මේ දවස්වල අව්වේ තරම හරියට ම දැනගන්න ඕන නම් මෝටර් සයිකලයක් පැදගෙන පාරක් දිගේ ඈතට යන්න ඕන.

මෝටර් සයිකලය පදවන මට  පාර පුරාවට වතුර පෙනෙනවා.

හිරු දෙවියන්ගේ මායාව

"මහ වැස්සකුත් නැතුව,කිසිම ජල මූලාශ්‍රයක් පේන තෙක් මානයේ නැතුව පාරට වතුර ගලන්නේ කොහොමද? "  ඉස්සරහට යන්න යන්නම අර කිව්ව වතුර නැතිවෙනවා. හරියට මැජික් එකක්  වගෙයි.

මට ම උත්තරේ ඉබේ ම හමුවෙනවා. ඒ තමා  "මිරිඟුව". හිරු දෙවියන්ගේ මායාවක තරම කොහොමද?

නොදැනුම්වත්ව ම මෝටර් සයිකලය හරවන්න සිග්නල් එකත් දාලා. ඔන්න රථය පාර අයිනේ නැවැත්තුවා, නොන්ගු බොන්න.

"එවලව්?" ( ගාණ කීයද? )

"අම්පතු ! " එකක් පනහයි ලු.

ගෙන්දගම් පොළොවේ ඕන දෙයක් විකිණෙන සමයක මේ තල් අරණේ තල් ගෙඩියට පවා මිලක් නියම වීම අරුමයක්ද?


තල් කුරුම්බා ගෙඩියේ දියරමය  ලොඳ සහිත කාමර තුනක් තියනවා 

යාපනය අර්ධද්වීපය  තල්ගස්වල නිජ බිම. මේ බිමේ අස්සක් මුල්ලක් නෑර කටෝර මහ පොළොව දරාගෙන ඉන්න තල්ගස්වලින් ලැබෙන නොන්ගු, අපේ පළාත්වල කුරුම්බා හා සමානයි. කොටින්ම මේවා " තල් කුරුම්බා " කියා හඳුන්වන්න පුළුවන්.

යාපනේ පැත්තේ ළඟදි දවසක ආව කෙනෙක් නම්,  පාර අයිනේ මේ තල් කුරුම්බා ඉති තියාගෙන ඉන්න උදවිය දැකලා ඇති.මේකත් අවුරුද්දේ හැම කාලෙකම හැදෙන්නේ නෑ. හැදෙන්නේ අවුරුද්දට ම දින කීපයයි. ඒ අප්‍රේල් අග මැයි මාසේ මුල වගේ.

තල් කුරුම්බා ගෙඩියේ දියරමය  ලොඳ සහිත කාමර තුනක් තියනවා. ඇඟේ ඌෂ්ණේ මකා ගන්න කියාපු පානය.

රසේ කොහොම වෙතත් කඳේ කටු නිසා ගහේ නඟින එකනම් එතරම්  සුන්දර නෑ. ඒ නිසාම අපේ පැතිවල  කුරුම්බා, තැඹිලි වෙළඳාම වගේ  ලොකු නොන්ගු වෙළඳාමක් මෙහේ නෑ. ගහේම පැහිලා ඉදිලා වැටිලා යනවා. 

මේ  පානයේ  කැල්සියම්, පොස්පරස්, සින්ක්, විටමින් බී , සී , අනෙකුත් ඛනිජ , ස්වාභාවික සීනි වැනි පෝෂ්‍යපදාර්ථ  පිරී තියනවා.

මේ රසවත් ගිම්හාන පානය කැලරි වටිනාකමෙන් ඉතා අඩු බැවින් දියවැඩියා රෝගීන්ට කදිමයි.සමට සහ ආමාශයට බෙහෙවින් යහපත් කියලා තමා අහන්න ලැබුණේ.

නොන්ගු ලොඳ (වම) හා නොන්ගුවක රස තල් ගොටුවක (දකුණ)

නොන්ගුවලින් හදන ආහාර වට්ටෝරුත් කීපයක් තියෙනවා.ඒ  නොන්ගු පාල්(කිරි), නොන්ගු පානය වගේ බීම වර්ග. ඊට අමතර ඕඩියල් පිටි නැත්තම් තල් පිටි මිශ්‍ර කරලා හදාගන්න  "තල් කැවුම් " "තල් බීම " , "ඕඩියල් කුල් " කියන මුහුදු මාළු සුප් වගේ තල් ගහෙන් හදාගන්න කෑම වර්ග මෙහේ හරිම ජනප්‍රියයි.

අද වගේ කාලෙක සුපර් මාර්කට් එකකට ගිහින් ගන්න රසායනික ද්‍රව්‍ය මුසු කළ බීම වගේද මේ බීම වර්ග? ප්ලාස්ටික් කාඩ්බෝඩ් අසුරන නැතු ව ස්වාභාවික ව ගහෙන් නෙළාගෙන වෙළඳාම් කරන අපේම දේ. එදා වේල වෙනුවෙන් පොර බදින අපේ පොඩි මිනිහාගේ දේ. සිය රට දේ සිරි සැප දේ !

තල් ගහ කියද්දී මතක් වෙන තව දෙයක් තමා "කොට්ට කිලන්ගු"  (பனம் கிழங்கு) "ඔඩියල් "එහෙමත් නැත්නම් තල් අලවල රස තමා  මේ. "කොට්ට" නම් බීජ. "කිලන්ගු" නම් අල.


තල් ගහ කියද්දී මතක් වෙන තව දෙයක් තමා "කොට්ට කිලන්ගු" 

උඩිනුත් රස යටිනුත් රස 

ශුෂ්ක භුමියේ කහවන් රත්තරන්,ඔඩියල්. මිහිරි උක් තීරුවකට සමාන  තරමක් ආකර්ෂණීය පෙනුමක් ඇති අහාරයක්.පොළව යට හැදෙන අලයක්.

තිරුණවේලි ජන්සන් ( Tirunelveli Junction ) පැත්තේ, ජැෆ්නා ෆෝට් පැත්තේ ‍රවුම් ගහපු ඕන කෙනකුට නැවුම් කහ-සුදු සැරයටි වැනි කොට්ට කිලන්ගු අහුරක් ගන්න අමතක වෙන්නේ නෑ. නෙල්ලි කෝඩියල්, පන්නතු (pannatu) අර්ධද්වීපයට ආවේණික වූ තවත් අරුම පුදුම කෑම බීම වර්ග.

තැන තැන තල් ගස් සිටුවීම ඉපැරැණි සිරිතක්

උණුසුම් අර්ධද්වීපයේ තැන තැන තල් ගස් සිටුවීම ඉපැරැණි සිරිතක්. නියමිත වේලාවට මහ පොළව උඩු යටිකුරු කරලා නිස්සාරණය කරන අල, කූඩයට ගොඩ ගැසූ විට අලංකාර ලී වැනි ඔඩියල්.

ඔඩියල් සාමාන්‍යයෙන් අනුභව කරන්නේ වියළි විදිහට. වේලකට පැය ගණනක් හපන්න පුළුවන්. කම්මැලිකම යන්න හප හපා ඉන්නත් පුළුවන් හරියට වෙළඳ පොළේ ඇති කුඩා චිප්ස්, බිස්කට් වගේ. තම්බලා සරල ව ආහාරයට ගන්නත් පුළුවන්. කහ ටිකක්  ලුණු  ස්වල්පයක් දැමූ විට එය මෘදු,  ඉස්ම සහිත කෑමක්.

යාපනයේ රසවත් අනන්‍යතාව පෝෂණය කරන ඔඩියල් කූල් සහ පිට්ටු ,පාම් පොෂා විදිහටත් දකින්න පුළුවන්.

කොට්ට කිලන්ගු ⁣⁣ඔසු ගූණය 

මේ කොට්ට කිලන්ගුවල  ඖෂධීය ගුණ කිහිපයක්:

කොට්ට කිලන්ගු දියවැඩියාව පාලනය කරන ඔසුවක්. කෑම දිරවීමත් ක්‍රමවත් කරනවා. කෙඳි සහිතයි.ප්‍රමාණවත් ප්‍රෝටීන අඩංගුයි. පරිවෘත්තීය වේගවත් කරනවා.

* නිර්මාංශික සහ සත්ත්ව ආහාරවලින් තොර අය සඳහා ඉතා ඉහළින් නිර්දේශ කෙරෙන ඉහළ පෝෂ්‍යදායී අන්තර්ගතයක්.

* රතු රුධිර සෛලවල නිසි යකඩ ප්‍රමාණයක් සහ තඹ, ප්‍රමාණයක් පවත්වා ගනිමින් ශරීරයේ රුධිර සංසරණය වැඩි දියුණු කළ හැකි ආහාරයක්.

* පෝෂ්‍ය පදාර්ථ ඉතා ඉහළ නමුත් කැලරි ඉතා අඩු නිසා ආහාර වේලට පහසුවෙන් එක් කරගත හැකියි. අපි යමක් කෑමට සූදානම් බව අපේ මනසට පවසන කුසගිනි හෝමෝනය (hungry hormone) වන ග්‍රෙලින් (ghrelin) මුදා හැරීම වළක්වා ගැනීම ද ඉන් සිදු කරනවා.

* ඔමේගා -3 (omega -3)මේද අම්ලවල ප්‍රභවයක් .කොලෙස්ටරෝල් අඩංගුයි ඒත් ඒවා “හොඳ” කොලෙස්ටරෝල් වන (HDL කොලෙස්ටරෝල්). රුධිර නාළවල හා ධමනි වල ඇති හානිකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කළ හැකි කදිම ඔසුවක්.

* ළදරු සෞඛ්‍යය හා සම්බන්ධ ස්නායුක නළ දෝෂ (neural tube defects) යනු බී විටමින් සංකීර්ණයේ සාමාජිකයකු වන ෆෝලේට් ඌණතාවේ වඩාත් පොදු අතුරු ආබාධයක්.සැලකිය යුතු ෆෝලේට් ප්‍රමාණයක් කොට්ට කිලන්ගුවල අන්තර්ගත වෙනවා.

* විටමින්-සී (vitamin C) අන්තර්ගත නිසා ශරීරයේ සුදු රුධිරාණුවලට ආසාදන හා රෝගවලට එරෙහි ව සටන් කිරීමට ප්‍රබල උත්තේජකයක්. (Antioxidant activity).


චෙම්මනි පාර අසල සිට ඉර ගිලෙනු නරඹමින්

ඔබේ ආහාර වේලට එක් කර ගත යුතු හොඳ පිළිකා නාශක තේරීමක්. විටමින් සී, විටමින් ඒ මෙන්ම ඇමයිනෝ අම්ල සහ ප්‍රෝටීන (විශාල එන්සයිම ද ඇතුළු ව) ශරීරයේ නිදහස් රැඩිකල් අන්තර්ගතයට බලපෑම් කළ හැකියි.

ඔබේ ඊළඟ යාපන සවාරියේ දී චෙම්මනි පාර අමතක නොකරන්න මතක තබා ගන්න. එහි සිට ඉර ගිලෙනු නරඹමින් නෙත පිනවන අතරතුර කොට්ට කිලන්ගු රසයක් දිව අග තිබුණොත් යාපනයේ සුන්දරත්වයත් යාපනයේ රසයත් ජීවමාන වනවා ඇති.




















5. ජාවක ජනාවාසයක් වුණු චාවකච්චේරියට ගමනක්

  යාපනයේ ආගන්තුක සංචාරකයාගේ මේ පාර ගමනාන්තය චාවකච්චේරි(சாவகச்சேரி) යයි. චාවකච්චේරිය තියෙන්නේ යාපනේ අර්ධද්වීපයේ දකුණු කොටස වෙන තේන්මරච්චිවල. ...