Sunday, November 14, 2021

4. යාපනේ නිලවරායි පතුල නැති ළිඳ අසල සංඛාභිශේකය

 


සැතපුම් ගණනාවක් දිව ආ යාල් දේවියෙන් යාපනය වෙත ආ අපි මේ ගමන සුදානම් වෙන්නෙ පූතූර් (புத்தூர்) යන්නයි.

යාපනේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් පහළොවක පමණ දුරක් හරියට ම කිලෝමීටර් 14.9 ක් දුරින් තමයි පූතූර් තියෙන්නේ. යාපනේ-නාවක්කිරි 986 බස් එකේ තමා පූතූර් යන්න ඕනේ. මතක හැටියට නම් රුපියල් තිහ හතළිහක දුරක්. පූතූර් තියෙන්නේ යාපනේ "වලිකාමම්" කියන කොටසේ.

උතුරු අර්ධද්වීපයට නම් හොඳට ම ඉර මුදුන් වෙලා. හිරු පොළොවට ළං වී ගමන් කරන කාල සීමාව නිසා මහ පොළොව ගිනිබත් කරන්න තරම් කාස්ටක අව්ව. කාස්ටක අව්ව හැමෝට ම සමාන ව දැනුණා.

කාස්ටක අව්ව හැමෝට ම සමාන ව දැනුණා 

යාපනය අර්ධද්වීපය කියන්නෙ කොටස් පහක එකතුවක්. වලිකාමම්, තේන්මරච්ච්, යාල්පානම්, වඩමාරච්චි හා දූපත් හතකින් නිර්මාණය වුණු භූමි භාගයක්. යාපනයේ මස්තිෂ්කය විදියට හඳුන්වන්නේ වඩා නැත්නම් වඩමාරච්චි. යාපනයේ මස්තිෂ්කය විදියට වඩමාරච්චි හඳුන්වන්නේ ඇයි කියා ඇසිය යුත්තේ වඩමාරච්ච්වලම අයකු ගෙන්.

ලංගම බස් එකක නැගලා අපි පූතූර් යන ගමන පටන් ගත්තා. තේනු, මගේ සගයා තමා නඩේ ගුරා. අපි යන්නේ එයාගේ ගමේ පන්සලේ එහෙම නැත්නම් කෝවිලේ උත්සවේට.

"සංඛාභිශේකම්" බලන්න. ඒ අතර ම තවත් විශේෂ දෙයක් බලන්නත් එක්ක.

යාපනේ ඉඳන් කිලෝමීටර් 13.9 ක් දුරින් තමයි පූතූර් තියෙන්නේ 


යාපනයේ කෑම රසට කන්න පුළුවන් නල්ලූර් භවන්

පූතූර් යන බස් එකේ වැඩි සෙනඟක් නෑ. අපි හතර දෙනා ම පිටිපස්සේ සීට් එකේ. යාපන ටවුමෙන් එළියට ආව බස් එක පලාලි පාර දිගේ ඉස්සරහට යනවා. ආරියකුලම් හංදියේ සිග්නල් එකෙන් දකුණට දාලා නාග විහාරේ පහුකරනවත් එක්ක ම නල්ලූර් කෝවිලට යන පාර. එතනින් පොයින්ට්පෙඩ්‍රෝ නැත්නම් පේදුරුතුඩුව පාරට හැරෙනවා.

මාත් වට පිට බල බල යනවා. පැත්තක පේනවා රියෝ එක. ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් කර්මාන්තශාලාව. පස්සේ ඔන්න ලින්ගම් අයිස්ක්‍රීම් කඩේ. කෝකෙත් අයිස්ක්‍රීම් හරිම රසයි. එයිට පොඩ්ඩක් නුදුරින් තමා තියෙන්නෙ යාපනයේ කෑම රසට කන්න පුළුවන් නල්ලූර් භවන් භෝජන ශාලාව.

රතු, සුදු තීන්ත තීරු ආලේප කරපු උස් බිත්තිවලින් වට වුණු නල්ලූර් කන්දසාමි කෝවිල

ඒක පහුවෙනවත් එක්ක ම රතු, සුදු තීන්ත තීරු ආලේප කරපු උස් බිත්තිවලින් වට වුණු නල්ලූර් කන්දසාමි කෝවිල (நல்லூர் கந்தசாமி கோவில்; Nallur Kandaswamy Kovil) පහු වෙනවා. මේ නල්ලූර් කෝවිල යාපනයට හරි අපූර්ව තේජස් බවක් එකතු කරන්නෙ. කෝවිල පසුකරද්දි එන ලාක්ෂණික සුවඳ, බෙර නළා හා වන්දනා විධිවල හඬ හිතේ ඇතිකරන්නෙ අපූර්ව සංයමයක්.

දැන් බස් එකේ කලින් තිබුණු මන්දගාමී බව අඩු වෙලා. බස් රථය වේගයෙන් ඉස්සරහට යනවා.

ටිං...................ටිං...........................

බස් එකේ හඬ මගේ දෑහන බිඳිනවා.

බස් රථයෙන් ඔළුව එළියට දාලා කුතුහලයෙන් අවට බලන මට පේන්නේ පාර දෙපැත්තේ තල් ගස් යායවල්, දිගේලි කරපු ගව පට්ටි, එළු රංචු. ඒ අස්සෙ ම පොඩි පොඩි වගා බිම්. රතු ලූනු, කැරට්, බණ්ඩක්කා, අමු මිරිස් , රතු අල , මෑ කරල් වගේ එළවළු. අතරින් පතර පේන සාරවත් කෙසෙල් වගාව නම් හරිම පලබරයි. තවත් වෙලාවක තල් ගස් අතරින් පේන්නේ හොඳින් වැඩෙන දුම්කොළ වගාවක්. මේ මොන කාස්ටක අව්වක් ආවත්, මහා සුළි සුළං එක්ක වැස්සක් ආවත් යාපන වියළි කලාප බිම පුරාවට ම සරුසාරෙට වැඩුණු ගොවිබිම්වලටනම්, මේ මහ පොළොව ඉරි තලන අව්ව මහා අරුමයක්යැ.

පීදීගෙන එන බටු වගාව 

ඒ වගා කවදත් මේ භූමියෙන් පෝෂණේ උරාගෙන සරුසාරෙට වැඩෙනවා. මේ මහ කටෝර පොළොව ඕන දේකට ඔට්ටුයි. මහ පොළොව එක්ක පොරබදින යාපන ගොවියන්ගෙ සවිය,දිරිය, කැපවීම තමා වගාබිම් පුරාවට ම තියෙන්නෙ. මේ භූමිය සශ්‍රීකයි .සංචාරය කරන්නකු මග දෙපස හොඳින් නිරීක්ෂණය කළොත් පේන්නේ අක්කර ගාණක් ඈතට විහිදුණු කුඹුරු ඉඩම්.

රටට ම අල, ලූණූ , මිරිස් සැපයූ යාපනේ ගොවි රජවරු

බණ්ඩක්කා, අර්තාපල්, ලූණූ, අමු මිරිස්, බීට් රූට්, කැරට් ආදි එළවළුත්, කෙසෙල්, අඹ, මිදි වැනි පලතුරුත්, විවිධ පලා වර්ගත් සාරවත්ව වැඩෙන භූමියක්. අවුරුද්ද පුරාවට හරි හමන් වැස්සකුත් නැතිව වැවෙන මේ බව භෝගවල පලදාවෙන් පෙන්නේ උතුරු අර්ධද්වීපයේ ගොවි මහත්තුරුන්ගේ උත්සාහය හා කැපවීමක තරම බව තමා මගේ හැඟීම. අද පමණක් නෙවේ මින් දශක ගණනාවකට මත්තෙන් ‍රටට ම අල, ලූණූ , මිරිස් සැපයූවේත් මේ යාපනේ ගොවි රජවරුන් ම තමා.

හරි හරියේ වැඩීගෙන එන රට කජු වගා බිමක අසිරිය 

ටිං...................ටිං..............................

තවත් අයෙක් බසයෙන් බසිද්දී එකා දෙන්නා බසයට නැවතත් ගොඩ වෙනවා. අපි තව තවත් ඉදිරියට යන්නේ අපේ ගමනාන්තය තවත් දුරක වූ නිසා විය හැකියි. රථය ඉදිරියට යන්නේ පාර පුරාවට ම දූවිලිත් අවුස්සාගෙනයි.

අව්වත් තදට ම සැරයි. අව්වෙ සැර හිසට ආරෝපණය කර ගත් බසයේ රියදුරු මහතා සුක්කානම කරකවන්නේ මහකලබලෙන් වගේ. රථයේ වේගයට වැඩි නිසා දෝ පාපැදිවල ගිය පිරිස් පාර දෙපැත්තේ ඒවා නවත්තාගෙන බස් රථය දෙස බලාසිටින්නේ මනා සංයමයකින්. දැන් බස් ගමනට හෝරාවක් ගත වී අවසන්‍.

කාස්ටක අව්ව එක්ක පොර බදින මහ පොළොව

ටිං..................ටිං...................ටිං.............

ප්‍රසිද්ධ පතුල නැති ළිඳ (bottomless well) පිහිටලා තියෙන්නේ මේ ප්‍රදේශයේ. අදටත් ලක්දිව නොවිසඳුණු අබිරහස් ගණනාවක් ම ශේෂයි. කළු දිය පොකුණ, ත්‍රීකුණාමලේ ෆෙඩ්‍රික් කොටුවේ පාතාලමලේ හා රාවණා ගේ දඩු මොනරේ ඒ අතර ප්‍රධානයි.

ළිඳ ගැන ජනප්‍රවාද ගොඩක එකතුවක් 

යුද්ධයෙන් පස්සේ යාපනේ සංචාරය කළ කෙනෙක් නම් ඉතින් මේ තැනට ගිහින් ඇති. ජනප්‍රවාද ගොඩක එකතුවක් තමා මේ ළිඳ ගැන අහන්න ලැබෙන්න ඇත්තේ. එයින් කීපයක් මේ.

ලක්දිව ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර විසූ නාග ගෝත්‍රිකයන් මිහිපිට සිට නාග ලොවට යාමට යොදා ගත් පියගැට පෙළක් සහිත ළිඳ, නාවට්කන්නී මේ ළිඳ, නිලවරායි ළිඳ යි.

රාම රජු සමඟ යුද වැදී ඉන්දියාවට යන රාම කුමරු හා සීතා අතරමඟ දී දිය පිපාසය සන්සිඳුවා ගැනීමට රාම කුමරු ත්‍රිශූලයෙන් පොලවට ඇන දිය ලබා ගත් ස්ථානය නිලවරා යි.

නාගදීපයට වැඩි බුදුරජාණන් වහන්සේට පැන් පානයට ශක්‍ර දේවේන්ද්‍රයා මැවූ ළිඳ, නිලවරායි ළිඳ යි.

බොහෝ දෙනකු ගේ මතය වන්නේ යාපනයේ නිලවරායි හන්දියට ආසන්න ව පිහිටා ඇති සුවිසල් ළිඳ පතුලක් නොමැති කුහරයක් පමණක් බවයි. එය ‘පතුලක් නොමැති ළිඳ’ යැයි හැඳින්වීමට බොහෝ අය පුරුදු ව ඇත්තේ එනිසා යි. සමහරුන් කියන්නේ මේ ළිඳ මීට කිලෝ මීටර 04ක් දුරින් ඇති කීරමලේ පොකුණ හා සම්බන්ධ බවයි. අභ්‍යන්තර දෝනාවකින් මාතලේ ප්‍රදේශයේ ඇති උල්පත්වලින් මේ ළිඳට ජලය ලැබෙන බව තවත් අය පවසනවා.

වගාබිම්වල පස සාරවත් කරගන්න නයිට්‍රජන් හොදින් තිර කරගන්න වගා කරන සනල් නම් ශාක විශේෂයක්

මෙය ළිඳක් ලෙස හැඳින් වුවත් බැලූ අයුරින් හුණුගල් ආවාටයක් බවයි මෙහි ගවේෂණයක යෙදුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම පවසන්නේ. පිරිසුදු නිල්වන් දිය පිරුණු මෙම ළිඳ ඉතා ගැඹුරුයි. ඒ බව ළිඳ මතුපිට සිට බලන අයට පවා අවබෝධ වන්නක්.

මුහුදු ජලයත්, ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන් වන මායිම

මේ පළාතේ දිය පවස වසර සිය ගණනක් පුරා නිවූ මේ ළිඳ අසල පැරණි දාගබක නටබුන් හා හින්දු කෝවිල් කිහිපයක් ද වනවා. මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසත් නම් කර තිබෙනවා. මේ ළිඳ මීටර 14.5ක් දිගින් හා පළලින් මීටර් 10.7ක්. ළිඳ වටා සිමෙන්ති යොදා ළිං බැම්මක් සකසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන් ආරක්ෂිත වැටක් ද ඉදි කරලා.

ප්‍රසිද්ධ පතුල නැති නිලවරායි ළිඳ 

“මේ ළිඳේ ඝනත්වයෙන් වැඩි පතුලේ ඇති මුහුදු ජලයත්, ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම මෙහි පැහැදිලි ව දකින්නට ලැබෙනවා. එම ස්ථානයේ විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය ඉතා ආකර්ශනීය දර්ශනයක්.”

යැයි මෙහි ගවේෂණයක යෙදුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම පවසනවා.

පර්යේෂකයන් පවසන්නේ මේ ළිඳේ ජලය ඉතා නිශ්චල බවයි. මතුපිට ජල මට්ටමේ සිට මීටර 40ක් පමණ ගැඹුරට ගිය විට ළිඳේ පත්ල මුහුදු පුරාවිද්‍යා කණ්ඩායමට හමු වී තිබුණා. ඔවුන් පවසන්නේ පතුලක් නොමැති බව පවසන මේ ළිඳට හිරිගල්වලින් සෑදුණු පතුලක් තිබෙන බවයි.

ළිඳේ කටට වඩා පතුලේ වට ප්‍රමාණය වැඩියි 

ගවේෂකයන් කියන්නේ ළිඳේ කටට වඩා පතුලේ වට ප්‍රමාණය වැඩි බවයි. ළිං පතුළට යන විට ගුහාවක් තුළට යනවා සේ දැනෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ හිරිගල් ස්ථරය මයෝසීන යුගයට අයත් බව හඳුනා ගත හැකි වුණු බව හිරිගල් බිත්තියේ සාම්පල කිහිපයක් පරීක්ෂා කිරීමේ දී අනාවරණය වූ බව ගවේෂකයන් පවසනවා.

ළිඳ පහුවෙද්දි ම අපේ ගමනාන්තය, තේනුජා ගේ ගම "පූතූර් ".

ටිං................ටිං................ටිං.............බසය ඉද්ද ගැසුවාක් මෙන් නවතියි.

ඉරන්කු ! (இறங்கு!- බහින්න!) ඒ තේනු හඬයි.

ඒ අපේ ගමනාන්තය නිලවරායි…!

නාගලොවට යන පියගැටපෙළ යයි ජනතාව විශ්වාස කරන තරන තැන

දූවිලිවලින් නෑවිච්ච අතුරු පාරවල්

අප බස් රථයෙන් බසිනවාත් සමඟ ම දූවිලි අතරි බසය නොපෙනී ක්ෂණිකව ඈතට ම දිව ගිය අයුරු පුදුමයක්.

දූවිලිවලින් නෑවිච්ච අතුරු පාරවල්.ඒ තරම් කාස්ටක අව්වක්.පාර දෙපැත්තේ නිල්ල ගැසුණු කුඹුරු වගා බිම්. සන්සුන් ඉරියව්වෙන් ඒවා මට කියා පාන්නේ යාපනේ පොළොවනම් කවදත් අපේ දෙමළ සගයන් හා උරණ වී නැති හැඩයි.

තේනුගේ ගමේ කෝවිල තිබුණේ විශාල නුග ගසක් අසල. පසෙක මහා සියඹලා ගසක්. තවමත් අවට සන්සුන්‍. සීනුවක් එල්ලා ගත් ගවයෙක් නොසන්සුන්ව ඒ මේ අත දුවන්නට පටන් ගත්තේ මේ ආගන්තුකයන් ගේ ආගමනය නිසාද?

මොකක්ද මේ " සංඛාභිෂේකය" කියන්නේ? තේනුට මගෙන් පැනයක්.

"සංඛ "කියන්නේ හක්ගෙඩිය, අභිෂේකම් කියන්නේ යම් පූජනීය වස්තුවක් කිසියම් දියරයකින් නෑවීම. සංඛ පමණක් නෙවෙයි ප්‍රතිමා, ශිවලිංග ආදිය ජලය, කිරි, ගිතෙල්, දී කිරි, මී පැණි වැනි විවිධ දියර වර්ගවලින් නහවන එකයි.

මෙය සංඛ එක් දහස් අටක් යොදා ගෙන කරන පූජාවක් 

මෙය නම් වාලම්පුරි,එහෙමත් නැත්නම් හක් බෙල්ලන් (සංඛ) එක් දහස් අටක් යොදා ගෙන කරන පූජාවක් බවයි තේනු කියන්නේ. ශිව ප්‍රතිමාවක් ඉදිරිපිට කුඩා ගිනි ගොඩක්. පසෙක නළා වාදකයෙක් හා බෙර කරුවෙක්. ස්වර ගළපමින් වයන ඔවුන් දෙදෙනා ගේ රිද්මය සමඟ පූජාව ආරම්භ වූවා. පූජකවරයා විවිධ දෑ ගින්නට දමමින් පාඨ මුමුනයි. ගිනි ජාලාවලින් ඒවා දැවී අලු වී යන්නේ ක්ලේශයන් දැවී යන්නා සේයි. පූජාවේ අරමුණ ද එයමයි. ඇදහිලි, විශ්වාස පුදුමාකාරයි.

සංඛ එක් දහස් අටක් යොදා ගෙන කරන පූජාවක්

තවත් අයෙක් ශිව ප්‍රතිමාව කහ දියර,එළ කිරි,තැඹිලි, ඖෂධ වර්ග ,පලතුරු යුෂයෙන් නාවයි. උඩු කය නිරුවත් වේට්ටියෙන් සැරසුණු පුද්ගලයන් සිව්දෙනෙක් ගණ දෙවි ප්‍රතිමාවක් ආසනයක හිඳුවා කර මතා තබා ගෙන පාඨ කියමින් කෝවිල වටේ රැගෙන යයි. මේවා විවිධ සංස්කෘතික අංගයි. හෝරා දෙකක් ම ගත වී අවසන්‍.

සන්සුන් මා නො සන්සුන්වී ගෙන එන පාටකි.කෝවිලේ සෙනඟ ද එකා දෙන්නා වැඩී වීගෙන එයි. ඔවුන්ගේ ඇස පූජාවටත් වඩා මේ නුපුරුදු ආගන්තුකයා දෙසට යොමු වී ඇත. පූජාව අවසන් වෙද්දී ඉර මුදුන් වී අවසන්.

දැන් ඉතින් ගමනේ රසවත් ම කොටසයි. කෝවිලේ දිවා භෝජන වේලාවයි. කෝවිලට ආ සියල්ලන් සිටින්නේ බිම අසුන් ගෙනයි. අයෙක් ඔවුන් ඉදිරිපිට කෙසෙල් කොළ එළා ගෙන යද්දී අනෙකුන් වෑංජනත්, බතුත් තවත් අයෙක් බෙදයි. බත රතු පාටයි. ඇට තරමක් විශාලයි. වෑංජන කීපයක් හා පපඩමක් සමඟ බැදපු මිරිස් කරලක්.‍ රස ගැන කිවයුතු නැත. කා හමාර වී නැවත නැගිටීමත් අපහසුයි.

භෝජනයෙන් පසු "පාලහාරම්" එනම් රස කැවිලි වාරයයි

භෝජනයෙන් පසු "පාලහාරම්" එනම් රස කැවිලි වාරයයි. ධාන්‍ය, පොල් පැණි එක් කළ "මෝතගම්" ප්‍රණීතයි. අසා ඇති අන්දමට එය නම් ගණ දෙවියන්ගේ ප්‍රියත ම ආහරයයි. ඉන්පසු රට ඉඳි - කෙසෙල් එක් කළ තවත් අතුරුපසක්.නම නම් නොදනියි. ඒ රසය මාගේ රස නහර තුළ තවමත් දුවනවා.

ටිං..........ටිං.........ටිං...........................ඒ නම් කෝවිලේ සීනු හඬයි. එය සිහි කරන්නේ අප ආපසු යා යුතු වේලාව ළඟා ව ඇති බවයි. දුවිලි අවුස්සා ගෙන යාපනය බලා නැවත දිවෙන බස් රථය තව මොහොතකින් කෝවිල ඉදිරියට එනු ඇති. 

Wednesday, November 3, 2021

3. චෙම්මනි යන පාරෙන් එන්න ගත-සිත නිවන නොන්ගු බොන්න


 මේ මගේ යාපනයේ පිලිබද සටහන් ගොනුවක්....

කියවන්න ඔබට ආරාධනා 

උතුරු අර්ධද්වීපයේ තල් සෙවණට වී හින්දු සංස්කෘතියේ අපූරුතම අංග, උත්සව දැක එහි මිහිරියාව රසවිදිමින්, විවිධත්වය උගනමින් කුළුබඩුවලින් රස ගැන්වූ කකුලුවන්, ඉස්සන්,දැල්ලන් සමග ඕඩියල් පිට්ටු,කුරක්කන් ඉදිආප්ප,තෝස,වඩ මෙන්ම ධාන්‍ය යොදා සැකසූ මෝතගම්,කොලුකටෙයි,පනම්කායි පනියාර්,කේසරි ආදි වූ රසවත් විවිධත්වයෙන් යුතු භෝජන රසවිදිමින් සංචාරයක ඉසව්වන් සොයා වඩමාරච්ච් , තේන්මරච්ච්,යාල්පානම්,වලිකාම්මහි මග දිගට සංචාරය කරන යාල් ආගන්තුකයාගේ අත්දැකීම් හා චායාරූප සමූහයක එකතුවකි.එන්න යාල් දේවියෙන් කාශ්ටක ‍යැයි කියන නමුත් භවබෝගයෙන් ඵලබරවූ යාල් අර්ධද්වීපයේ සුන්දරත්වය නරඹන්න .සහෝදරත්වයේ අත්වැල් පවුරු බදින්න.

Hi guys, go through the following links to read about Land of the palmyrah and heart of the Island’s Hindu culture, Jaffna. And how they offer some delightful crunchy munchies. This is the time to chew into those sweets, spicy or downright alien flavors of exotic Jaffna.

යාපනේ නගර සීමාවේ ඉදන් A 9 පාර දිහාවට යන්න තියන හොඳ ම කෙටි පාර තමා චෙම්මනී පාර. කෙළින් ම ඔය පාරෙන් ගියොත් වැටෙන්නේ චාවකච්චේරි  නගර සීමාවට.

නල්ලූර් කෝවිල පහුකරගෙන පේදුරුතුඩුව පැත්තට යනකොට දකුණු පැත්තට වෙන්න, ගාම්භීරව ඉන්න සංකිලි රජතුමාගේ පිළිමයක් හම්බ වෙනවා.සංකිලි කියන්නේ යාපනය  රාජධානිය පාලනය කළ රජ කෙනෙක්. චෙම්මනී පාර පටන් ගන්නේ එතනින්. තල් ගස් අතරින් ඉස්සරහට යද්දී A 9 පාර ළඟදි , මහා විශාලෙට ඉදිකරපු තොරණ් රාජයෙක් එක්ක චෙම්මනී පිවිසුම් ද්වාරය පේනවා.

චෙම්මනී පිවිසුම් ද්වාරය - facebook.com/palmyrahisland

වසර ගාණක් ආපස්සට හැරිලා බැලුවොත් නම් ඉතින් මේ චෙම්මනී පාර ගැන රස කතා නෑ. අපේ දෙමළ කවියෝ ඒ ගැන හරි හරියට කවි ලියා තියෙනවා. මේ චෙම්මනි පාර දෙපැත්තේ තල් ගස්  මුරකාවල් ලාගෙන පේළියට ඉන්නේ වැළලී ගිය  අඳුරු අතීතයේ බිහිසුණු කතා රැසක් මතකයේ දරාගෙන.  

යාපනේට ඉතින් කවදත් හොඳට ම කාස්ටක අව්ව. වැහි පොද එන්නේ එහෙන් මෙහෙන් වගේ.  මන්දාරමත් එක්ක වැටෙන මේ පොද වැස්ස  අර ඉරි තැලුණු මහ පොළොව කොහොම එක්තැන් කරන්නද මන්දා.

ජූලි මාසෙ ආඩිකූල් 

මේ පටන් ගන්නේ නිරිත දිග මෝසම් සුළඟ සමඟ එන  වර්ෂා කාලය. ඒ නිසා මුහුද පැත්තෙන් හමා එන හුළඟත් හරිම සැරයි.

ලංකාවේ කෘෂිකර්මාන්තය මෝසම් වර්ෂා සමඟ යා වෙන්නක්. ඒ යල කන්නය සහ මහ  කන්නය විදියට.

මෙහෙ කියන විදියට හිරු පොළොවට ළං වී ගමන් කරන කාල සීමාව "යල කන්නය ". ඉතිරි කාල සීමාව  "මහ කන්නය". ඊසාන දිග මෝසම් වර්ෂාව ලැබෙන්නේ මහ කන්නයට අයත් වන දෙසැම්බර් සිට පෙබරවාරි කාල සීමාවේ. නිරිත දිග මෝසම් වර්ෂාව නම් අප්‍රේල් සිට අගෝස්තු කාල සීමාවේ. මේ අධික වර්ෂාවෙන් කුඹුරු ඉඩම් අස්වද්දා ලබා ගන්නා අග්‍රපලය යොදාගෙන හින්දු බැතිමතුන් ජනවාරි මාසයේ "තෛපෝන්ගල් " සමරනවා.

ජූලි මාසයේ රස බලන්න පුළුවන් අවේණික ආහාර වට්ටෝරුව තමා " ආඩිකූල්"

ඌෂ්ණත්වය පාලනයට හොඳ ම පානය ආඩිකූල්

වර්ෂය අවසන් වෙද්දී අස්වැන්නෙන් සකසාගත් සහල් හිඟ කාලය උදාවෙනවා.ඒ නිසා වෙනත් අනුභෝග වන ධාන්‍ය ආදිය ආහරවලට එකතු කර ගත යුතු වෙනවා. එය සංකේතවත් කරන්නේ මේ "ආඩි පිරප්පු " පූජාවත් සමඟ. තවත් අයෙකු දරන මතය අනුව මේ ඇරඹෙන්නේ සූර්යයා ‍රශ්මි විහිදුවාලන බොහෝ ඌෂ්ණ අධික සමය. මේ සමයේ ශරීර ඌෂ්ණත්වය පාලනය කිරීමට හොඳ ම පානය ආඩිකූල්.

අර්ධද්වීපයේ එක යායට උසට වැවුණු තල් ගසුත් අහස දිහා බලාගෙන ඉන්නේ , කවදා  මහ වැස්සක් වැටෙයිද කියන බලාපොරොත්තුවෙන්.

චෙම්මනි පාර දෙපැත්තේ යායට  පීදී කිරිවැදුණු ගොයම ගොවියාට අස්වනු දන්දී ඉපනැලි වෙලා. මේ කුඹුරු යායවල් දැන් ගව රංචු දිගෙලි කරන්න කියාපු තැන්.

මෙහෙ කුඹුරු වැඩ  ගොඩක් ම වෙන්නේ ලොකු යකඩ ගොඩවල් එක්ක පොර බදන ගමන්.මොකද පේන නොපෙනෙන මානයේ තියෙන්නෙ කුඹුරු.ඒ අස්සෙ ම කුඹුරුවල එකෙළ මෙකෙළ වෙමින් උලාකන ගව රංචුවලත්, එළු රංචුවලත්  අඩුවක් නම් නෑ.

නොන්ගු, අපේ පළාත්වල කුරුම්බා හා සමානයි. මේවා " තල් කුරුම්බා "

පාර දෙපැත්තේ දිය අගල් නැතුවා ම නොවෙයි. වැහි කාලෙට ඒවා හොඳට ම වතුර පිරිලා වුණත් දැන්නම් ලොකුවට වතුර නෑ. නාවට්කුලි පාලම පහුවෙද්දි වතුර පිරුණු දිය අගල් දකින්න පුළුවන්.

දන්නවද තවත් දෙයක්? බටහිර අහසේ ගිලෙන ඉර බලන්න කියාපු තැන තමා මේ චෙම්මනී පාර. අහස් කුසේ වර්ණ ‍රටා බලන්න හරි අපූරුයි.

උතුරු අර්ධද්වීපයට  හොදටම ඉර මුදුන් වෙලා. මහ පොළොව ගිනිබත් කරන්න තරම් කාස්ටක අව්වක්.මේ දවස්වල අව්වේ තරම හරියට ම දැනගන්න ඕන නම් මෝටර් සයිකලයක් පැදගෙන පාරක් දිගේ ඈතට යන්න ඕන.

මෝටර් සයිකලය පදවන මට  පාර පුරාවට වතුර පෙනෙනවා.

හිරු දෙවියන්ගේ මායාව

"මහ වැස්සකුත් නැතුව,කිසිම ජල මූලාශ්‍රයක් පේන තෙක් මානයේ නැතුව පාරට වතුර ගලන්නේ කොහොමද? "  ඉස්සරහට යන්න යන්නම අර කිව්ව වතුර නැතිවෙනවා. හරියට මැජික් එකක්  වගෙයි.

මට ම උත්තරේ ඉබේ ම හමුවෙනවා. ඒ තමා  "මිරිඟුව". හිරු දෙවියන්ගේ මායාවක තරම කොහොමද?

නොදැනුම්වත්ව ම මෝටර් සයිකලය හරවන්න සිග්නල් එකත් දාලා. ඔන්න රථය පාර අයිනේ නැවැත්තුවා, නොන්ගු බොන්න.

"එවලව්?" ( ගාණ කීයද? )

"අම්පතු ! " එකක් පනහයි ලු.

ගෙන්දගම් පොළොවේ ඕන දෙයක් විකිණෙන සමයක මේ තල් අරණේ තල් ගෙඩියට පවා මිලක් නියම වීම අරුමයක්ද?


තල් කුරුම්බා ගෙඩියේ දියරමය  ලොඳ සහිත කාමර තුනක් තියනවා 

යාපනය අර්ධද්වීපය  තල්ගස්වල නිජ බිම. මේ බිමේ අස්සක් මුල්ලක් නෑර කටෝර මහ පොළොව දරාගෙන ඉන්න තල්ගස්වලින් ලැබෙන නොන්ගු, අපේ පළාත්වල කුරුම්බා හා සමානයි. කොටින්ම මේවා " තල් කුරුම්බා " කියා හඳුන්වන්න පුළුවන්.

යාපනේ පැත්තේ ළඟදි දවසක ආව කෙනෙක් නම්,  පාර අයිනේ මේ තල් කුරුම්බා ඉති තියාගෙන ඉන්න උදවිය දැකලා ඇති.මේකත් අවුරුද්දේ හැම කාලෙකම හැදෙන්නේ නෑ. හැදෙන්නේ අවුරුද්දට ම දින කීපයයි. ඒ අප්‍රේල් අග මැයි මාසේ මුල වගේ.

තල් කුරුම්බා ගෙඩියේ දියරමය  ලොඳ සහිත කාමර තුනක් තියනවා. ඇඟේ ඌෂ්ණේ මකා ගන්න කියාපු පානය.

රසේ කොහොම වෙතත් කඳේ කටු නිසා ගහේ නඟින එකනම් එතරම්  සුන්දර නෑ. ඒ නිසාම අපේ පැතිවල  කුරුම්බා, තැඹිලි වෙළඳාම වගේ  ලොකු නොන්ගු වෙළඳාමක් මෙහේ නෑ. ගහේම පැහිලා ඉදිලා වැටිලා යනවා. 

මේ  පානයේ  කැල්සියම්, පොස්පරස්, සින්ක්, විටමින් බී , සී , අනෙකුත් ඛනිජ , ස්වාභාවික සීනි වැනි පෝෂ්‍යපදාර්ථ  පිරී තියනවා.

මේ රසවත් ගිම්හාන පානය කැලරි වටිනාකමෙන් ඉතා අඩු බැවින් දියවැඩියා රෝගීන්ට කදිමයි.සමට සහ ආමාශයට බෙහෙවින් යහපත් කියලා තමා අහන්න ලැබුණේ.

නොන්ගු ලොඳ (වම) හා නොන්ගුවක රස තල් ගොටුවක (දකුණ)

නොන්ගුවලින් හදන ආහාර වට්ටෝරුත් කීපයක් තියෙනවා.ඒ  නොන්ගු පාල්(කිරි), නොන්ගු පානය වගේ බීම වර්ග. ඊට අමතර ඕඩියල් පිටි නැත්තම් තල් පිටි මිශ්‍ර කරලා හදාගන්න  "තල් කැවුම් " "තල් බීම " , "ඕඩියල් කුල් " කියන මුහුදු මාළු සුප් වගේ තල් ගහෙන් හදාගන්න කෑම වර්ග මෙහේ හරිම ජනප්‍රියයි.

අද වගේ කාලෙක සුපර් මාර්කට් එකකට ගිහින් ගන්න රසායනික ද්‍රව්‍ය මුසු කළ බීම වගේද මේ බීම වර්ග? ප්ලාස්ටික් කාඩ්බෝඩ් අසුරන නැතු ව ස්වාභාවික ව ගහෙන් නෙළාගෙන වෙළඳාම් කරන අපේම දේ. එදා වේල වෙනුවෙන් පොර බදින අපේ පොඩි මිනිහාගේ දේ. සිය රට දේ සිරි සැප දේ !

තල් ගහ කියද්දී මතක් වෙන තව දෙයක් තමා "කොට්ට කිලන්ගු"  (பனம் கிழங்கு) "ඔඩියල් "එහෙමත් නැත්නම් තල් අලවල රස තමා  මේ. "කොට්ට" නම් බීජ. "කිලන්ගු" නම් අල.


තල් ගහ කියද්දී මතක් වෙන තව දෙයක් තමා "කොට්ට කිලන්ගු" 

උඩිනුත් රස යටිනුත් රස 

ශුෂ්ක භුමියේ කහවන් රත්තරන්,ඔඩියල්. මිහිරි උක් තීරුවකට සමාන  තරමක් ආකර්ෂණීය පෙනුමක් ඇති අහාරයක්.පොළව යට හැදෙන අලයක්.

තිරුණවේලි ජන්සන් ( Tirunelveli Junction ) පැත්තේ, ජැෆ්නා ෆෝට් පැත්තේ ‍රවුම් ගහපු ඕන කෙනකුට නැවුම් කහ-සුදු සැරයටි වැනි කොට්ට කිලන්ගු අහුරක් ගන්න අමතක වෙන්නේ නෑ. නෙල්ලි කෝඩියල්, පන්නතු (pannatu) අර්ධද්වීපයට ආවේණික වූ තවත් අරුම පුදුම කෑම බීම වර්ග.

තැන තැන තල් ගස් සිටුවීම ඉපැරැණි සිරිතක්

උණුසුම් අර්ධද්වීපයේ තැන තැන තල් ගස් සිටුවීම ඉපැරැණි සිරිතක්. නියමිත වේලාවට මහ පොළව උඩු යටිකුරු කරලා නිස්සාරණය කරන අල, කූඩයට ගොඩ ගැසූ විට අලංකාර ලී වැනි ඔඩියල්.

ඔඩියල් සාමාන්‍යයෙන් අනුභව කරන්නේ වියළි විදිහට. වේලකට පැය ගණනක් හපන්න පුළුවන්. කම්මැලිකම යන්න හප හපා ඉන්නත් පුළුවන් හරියට වෙළඳ පොළේ ඇති කුඩා චිප්ස්, බිස්කට් වගේ. තම්බලා සරල ව ආහාරයට ගන්නත් පුළුවන්. කහ ටිකක්  ලුණු  ස්වල්පයක් දැමූ විට එය මෘදු,  ඉස්ම සහිත කෑමක්.

යාපනයේ රසවත් අනන්‍යතාව පෝෂණය කරන ඔඩියල් කූල් සහ පිට්ටු ,පාම් පොෂා විදිහටත් දකින්න පුළුවන්.

කොට්ට කිලන්ගු ⁣⁣ඔසු ගූණය 

මේ කොට්ට කිලන්ගුවල  ඖෂධීය ගුණ කිහිපයක්:

කොට්ට කිලන්ගු දියවැඩියාව පාලනය කරන ඔසුවක්. කෑම දිරවීමත් ක්‍රමවත් කරනවා. කෙඳි සහිතයි.ප්‍රමාණවත් ප්‍රෝටීන අඩංගුයි. පරිවෘත්තීය වේගවත් කරනවා.

* නිර්මාංශික සහ සත්ත්ව ආහාරවලින් තොර අය සඳහා ඉතා ඉහළින් නිර්දේශ කෙරෙන ඉහළ පෝෂ්‍යදායී අන්තර්ගතයක්.

* රතු රුධිර සෛලවල නිසි යකඩ ප්‍රමාණයක් සහ තඹ, ප්‍රමාණයක් පවත්වා ගනිමින් ශරීරයේ රුධිර සංසරණය වැඩි දියුණු කළ හැකි ආහාරයක්.

* පෝෂ්‍ය පදාර්ථ ඉතා ඉහළ නමුත් කැලරි ඉතා අඩු නිසා ආහාර වේලට පහසුවෙන් එක් කරගත හැකියි. අපි යමක් කෑමට සූදානම් බව අපේ මනසට පවසන කුසගිනි හෝමෝනය (hungry hormone) වන ග්‍රෙලින් (ghrelin) මුදා හැරීම වළක්වා ගැනීම ද ඉන් සිදු කරනවා.

* ඔමේගා -3 (omega -3)මේද අම්ලවල ප්‍රභවයක් .කොලෙස්ටරෝල් අඩංගුයි ඒත් ඒවා “හොඳ” කොලෙස්ටරෝල් වන (HDL කොලෙස්ටරෝල්). රුධිර නාළවල හා ධමනි වල ඇති හානිකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කළ හැකි කදිම ඔසුවක්.

* ළදරු සෞඛ්‍යය හා සම්බන්ධ ස්නායුක නළ දෝෂ (neural tube defects) යනු බී විටමින් සංකීර්ණයේ සාමාජිකයකු වන ෆෝලේට් ඌණතාවේ වඩාත් පොදු අතුරු ආබාධයක්.සැලකිය යුතු ෆෝලේට් ප්‍රමාණයක් කොට්ට කිලන්ගුවල අන්තර්ගත වෙනවා.

* විටමින්-සී (vitamin C) අන්තර්ගත නිසා ශරීරයේ සුදු රුධිරාණුවලට ආසාදන හා රෝගවලට එරෙහි ව සටන් කිරීමට ප්‍රබල උත්තේජකයක්. (Antioxidant activity).


චෙම්මනි පාර අසල සිට ඉර ගිලෙනු නරඹමින්

ඔබේ ආහාර වේලට එක් කර ගත යුතු හොඳ පිළිකා නාශක තේරීමක්. විටමින් සී, විටමින් ඒ මෙන්ම ඇමයිනෝ අම්ල සහ ප්‍රෝටීන (විශාල එන්සයිම ද ඇතුළු ව) ශරීරයේ නිදහස් රැඩිකල් අන්තර්ගතයට බලපෑම් කළ හැකියි.

ඔබේ ඊළඟ යාපන සවාරියේ දී චෙම්මනි පාර අමතක නොකරන්න මතක තබා ගන්න. එහි සිට ඉර ගිලෙනු නරඹමින් නෙත පිනවන අතරතුර කොට්ට කිලන්ගු රසයක් දිව අග තිබුණොත් යාපනයේ සුන්දරත්වයත් යාපනයේ රසයත් ජීවමාන වනවා ඇති.




















Sunday, October 24, 2021

2. යාල් දින පොත 2

 යාල්දේවියෙන් යාල්පානමට යන්න එන්න දේවි


වේලාව උදෑසන අට පසු වී මිනිත්තු පහ⁣ළොවකි. ගල්කිස්සේ සිට හැල්මේ දිව ආ යාල් දේවිය මඳක් නැවතී හුස්මක් ගන්නේ කුරුණෑගල දී ය. පළමුවෙනි වේදිකාවේ මඳක් තැන්පත් වී සිටින ඇය, විටින් විට සැර දමමින් නොඉවසිලිමත් බවක් පළ කරන්නේ මෙතැන් සිට ඉදිරියට යා යුතු දුර ගැන සිහිවීමෙන් වත් දො යි සිතෙයි. යාල් දේවිය ගේ නොඉවසිලිමත් ගෙරවිල්ල අතරින් දුම්රියපළේ යකඩ කට ද රැල් බුරුල් හැර කුමක්දෝ අඩව්වක් අල්ලන්නට සැරසෙයි.

"සවන්දෙන්න ! මේ කුරුණෑගල දුම්රිය ස්ථානයයි. පළමුවෙනි වේදිකාවට දැන් පැමිණි යාල්දේවී නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් කන්කසන්තුරේ බලා පිටත්වේ. දුම්රිය නවත්වන්නේ ; මහව හන්දිය , ගල්ගමුව, තඹුත්තේගම, තලාව, අනුරාධපුර, වව්නියාව, කිලිනොච්චිය, අලිමංකඩ, පලෙයි, කොඩිකාමම්, යාපනය සහ කන්කසන්තුරේ ."
ගල්කිස්සෙන් ගමන් ආරම්භ කර කොළඹ කොටුව , ගම්පහ, පොල්ගහවෙල පසුකරමින් KKS  හෙවත් කන්කසන්තුරය දක්වා කිලෝමීටර් හාරසියයක පමණ දුර ගෙවා දිවෙන උදෑසන නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මැයයි. යාල්දේවි යන මේ දුර ගමන අතරතුර උතුරු දුම්රිය මාර්ගයේ ඇයට හමු වන අනෙක් යෙහෙළිය නම් උත්තරදේවිය යි. ඊට අමතර තවත් ශීඝ්‍රගාමී දුම්රියක් හා රාත්‍රි තැපැල් දුම්රියක් ද මේ මඟෙහි ධාවනය කෙරේ.

සවන්දෙන්න ! මේ කුරුණෑගල දුම්රිය ස්ථානයයි

උතුරු දුම්රිය මඟ යනු, වයඹ පළාත සහ උතුරු මැද පළාත හරහා විහි දී උතුරු පළා‍තේ කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් අවසන් වන දිවයිනේ දීර්ඝත ම දුම්රිය මාර්ගයයි. මෙහි දුර කිලෝ මීටර 339 ක් වන අතර පොල්ගහවෙල සහ වවුනියාව අතර පමණක් දුම්රිය නැවතුම් 55 කි. ගල්කිස්ස සිට නම් ඊටත් වැඩි ය.

ගැඹුරු හුස්මක් අදින යාල් දේවිය ගෙවන්නට ඇති ඉදිරි දුර දිග පළල මනිමින් කුරුණෑගලට සමුදෙයි.

අතරමගදී ඇය මඟ දෙපස නිල්ල ගැසුණු සාරවත් කෙත්වතු පසු කර ඇදේ. වැව් බැදි රාජ්‍යයේ අහස් කුස සිඹිමින් මව් දෙරණට රැකවල් සලසන සුදෝ සුදු දාගැබ් ද, වෙහෙර විහාර ද, විවිධ දෙවිවරුන් නෙක මුද්‍රාවලින් කැටයම් වූ කෝවිල් ද ඇයට එම ගමනේදී හමු වේ. ඒ යන ගමන අතරතුර ඇය වැව්,අමුණු අසලින් හැල්මේ ගමන්කරමින් ගංගා රැසකින් ද එතෙරව දිව යයි.

සංහිදියාවේ අන්තර් යාත්‍රිකයා

යාල් දේවි යනු බටහිරින් පටන්ගෙන මව් ධරණි තලයෙන් අඩක් පසු කර උතුරට දිවෙන සංහිදියාවේ අන්තර් යාත්‍රිකයාය යි කිව හැකි ය.

මෙරට යටත් විජිත‍යක් බවට පත් කරගත් විදේශිකයෝ මේ මහ පොළොවේ සශ්‍රීක බවත් සුන්දරතාවත් දුටහ. වර්ෂ එක්දහස් අටසිය අසූවේදී උතුරේ වනගත ප්‍රදේශවල සැරිසැරූ හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා එකී පෙදෙස්හි නොදියුණු බව දැක සංවර්ධනය කිරීමේ පියවරක් ලෙස ප්‍රවාහන මාධ්‍ය දියුණු කිරීමට කටයුතු කළේය. එහි පළමු අදියර ලෙස 1887 දී උතුරට දුම්රිය මාර්ගයක් තැනීමට කොමිසමක් පත් කළ බව දුම්රිය ඉතිහාසයේ සදහන් වේ. අදියර කිහිපයක් යටතේ දුම්රිය මඟ ඉදි වන පසුබිමක 1895 නැවත කොමිසමක් පත් කෙරුණේ, ජනතාවගේ දැඩි ඉල්ලීම නිසාය. 1900 වසරේ අප්‍රේල් මස සිට අදියර දෙකක් ඔස්සේ කුරුණෑගල සිට යාපනය දක්වාත් පසුව කන්කසන්තුරය දක්වාත් දුම්රිය මඟ ඉදි විය.


යාල් දේවියේ මංගල ගමන සම්බන්ධව එදා පළ වුණු පැරණි දැන්වීමක්

යාල් දේවියේ මංගල ගමන

යාල් දේවියේ මංගල ගමන යෙදුණේ 1953 අප්‍රේල් විසි තුන්වන දින ය. එවකට ශ්‍රී ලංකාවේ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ව සිටියේ බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල ය. ඔහුගේ මුලිකත්වයෙන් ශීඝ්‍රගාමී දුම්රිය තුනක් රටේ තුන්කොනට ධාවනය කෙරිණ. මාතර දක්වා රුහුණු කුමාරි, බදුල්ල දක්වා උඩරට මැණිකේ සහ කන්කසන්තුරය දක්වා යාල්දේවී ය.

1990 දශකයේ ඊළාම් යුද්ධය හේතුවෙන් දුම්රිය ගමන නතර වන තෙක් ම වසර ගණනාවක් පුරා මගීන්, බඩු භාණ්ඩ ප්‍රවාහනයට යාල් දේවිය දායක වූවා ය. විරාමයකින් පසු, තිස් වසරක යුද්ධය නිමා ව උතුරේත් දකුණේත් සහෝදරත්වය හා ළෙන්ගතුකම තහවුරු කරන්නට යාල්දේවි සිය යාල්පානම් ගමන නැවත ආරම්භ කළේ 2014 වර්ෂයේදී ය.

යාල්දේවි සිය යාල්පානම් ගමන නැවත ආරම්භ කළේ 2014 වර්ෂයේදී ය 

සයුර සිඹ තෙත් බරව හමා එන උතුරු සුළඟ

අනුරාධපුරය සිට වව්නියාව දක්වා ‍ දුම්රිය මග දෙපස සාරවත් ය, හරිත ය.පීදීගෙන එන කුඹුරුවල නිදහසේ ඇවිද යන මොණරුන් පලින් පල නිතර නෙත ගැටේ. ගහකොළ හරිත පැහැයෙන් බර ය.සතා සිව්පාවන් ද කෙළිදෙලෙන් වසන්නා වැන්න.

ලෝකයේ හොඳ ම දුම්රිය මාර්ගයක් වුණු යාපනය – කොළඹ දුම්රිය මග වීඩියෝව මෙතනින් නරඹන්න.

උතුරු මැද පළාත කෙමෙන් පසුකර යත් ම දුම්රිය මඟ අවට පරිසරයෙහි කටු පඳුරු, ලඳු කැලෑ සහිත වියළි කලාපීය භූ විෂමතා ලක්ෂණ ඉස්මතු වේ. දැන් යාල් දේවිය උතුරු සුළඟ සමඟ පොර බදමින් උතුරු පළාත හරහා ඉදිරියට ගමන් කරයි. සයුර සිඹ තෙත් බරව හමා එන උතුරු සුළඟින් හිරුගේ අමිහිරි කාෂ්ටක බව නිවේ. කෙත්බිම්වල ළපටි තණ උලා කමින් සරන විශාල එළු රංචු දුම්රියේ හඬට කන් ඔසවා බලන්නේ සුපුරුදු කෙනකු දුටු විටෙක මෙනි. නිදහසේ දිගේලි කළ ගවයන් ද තැනින් තැන ගාල් කළ ගව පට්ටි ද මේ බිමේ සුපුරුදු දසුන්ය.

භූමිය කාෂ්ඨටක අව්ව දරා සිටින්නේ මතු දිනෙක වර්ෂාවක් බලාපොරොත්තුවෙනි

යාපනය යනු හිරිගල් තට්ටුවක් මත වැලි මිශ්‍ර පසක පිහිටි වියළි කලාපීය භූමි ප්‍රදේශයකි. වර්ෂාව ඒ බිමෙහි සිරස සිඹින්නේ වසරේ මාස කීපයකට පමණි. එහෙයින් ම තැනින් තැන මහ පොළොව ඉරිතැලී ගොස්‍ ය. භූමිය මහා ධෛර්‍යයකින් යුතුව කාෂ්ඨටක අව්ව දරා සිටින්නේ මතු දිනෙක වර්ෂාවක් බලාපොරොත්තුවෙන් මෙනි. මවිතයට කරුණ නම් මේ කාෂ්ඨක භූමියේත් පෙනෙන තෙක්මානය පුරා විහිදුණු කුඹුරු ඉඩම් පැවතීම ය. මේ වන විට ඒවාහි අස්වනු නෙළා අවසන්‍ ය. ඉපනැලි අහසට අත් ඔසවා සිටින්නේ, කෙතට තෙත ගෙනෙන්නට අහසට යදින්නා සේ ය.

යාපනයට ඇතුළු වන එකම පිවිසුම් දොරටුව

ගමන අතරතුර හමු වන එක් තැනක් නම් යාපනය අර්ධද්වීපයේ ද්වාර මණ්ඩපය වන අලිමංකඩ ය. A9 පාර ඔස්සේ යාපනය දෙසට ගමන් කරන්නකුට නම් වවුනියා, පුලියන්කුලම්, මාන්කුලම්, පනික්කන්කුලම්, මුරුකන්ඩි, කිලිනොච්චි යන නගර පසු කරමින් අවසානයේ අලිමංකඩ වෙත පැමිණීමට සිදු වේ.

යාපනය අර්ධද්වීපයේ අලින් සිටියාද? යන්න කුතුහලයට කාරණයකි. එලිෆන්ට්පාස් යනු අලින් ගමන් කළ මාර්ගයක්ද?අර්ධද්වීපයට ගමන් කරන්නකුට මේ ගැන කුහුලක් ඇති වනවාට සැකයක් නැත.

යාපනය අර්ධද්වීපයේ ද්වාර මණ්ඩපය වන අලිමංකඩ 

මෑතක් වන තුරුම යාපනයට ඇතුළු වන එකම පිවිසුම් දොරටුව වූයේ අලිමංකඩය. කළපුව හරහා ගමන් කරන්නකුට නම් අලිමංකඩ ලුණු ලේවායත්, ඈතින් චාවකච්චේරියට නුදුරු A 32 මන්නාරම මාර්ගයට යාබද සුළං බල කුලුනු පේළියත්, පසෙක හසලක ගාමිණී රණවිරුවා ගේ අනුස්මරණ ස්මාරකයත් දැකගත හැකි ය.

ඈත බටහිර අහසින් ගිලිහී වැටෙන්න⁣ට සැරසෙන සුරත් පලයක් වන් ගිනි රතු ඉර මඬල සවස් කාලයේ අහස් කුස ලතු උලා විචිත්‍රවත් කර ඇත. එතැන් සිට ඉදිරියට ගමන් කරන්නකුට භූමිය වඩ වඩාත් සමතලා වී ඇති අයුරුත්, වෘක්ෂලතා ආදියෙහි වෙනස්වීම් ද හොඳින් නිරීක්ෂණය වනු ඇත. රටේ සෙසු ප්‍රදේශවල මෙන් සෙවණ සපයන පැතිරුණු විසල් ගස් මෙහි නැත. පැතලි භූ දර්ශනය මත ආධිපත්‍යය පතුරුවන එකම වෘක්ෂය තල් ගස්දැයි සිතේ. සෙවණ සදනු වෙනුවට ඒවා ද ආලෝක දහරාවලට අනුගත ව ඉහළට නැඟී සිටී.

මේ  යාල් දේවි හා උත්තර දේවිය එකට මුණගැසුණු අවස්ථාවක්

උතුරු අර්ධද්වීපයට අනන්‍යතාවක් වුව, සංචාරකයන්ගේ කැමරා කාචවල නොයක් රටා මැවූව ද, සෙවණක් ලබා නොදෙන ආත්මාර්ථකාමීන් පිරිසක් බඳු මේ තල් ගස් නිහඬ ඉරියව්වෙන් අදටත් බලා සිටින්නේ දශක තුනක අමිහිරි යුද්ධයක මතකවලින් කම්පිත වූවන් සේය.

වියළි ධූලි සුවඳ පරයා නැඟුණු පිච්ච මල් සුවඳකි. නෙක වර්ණ සාරියෙන් හැඩ ව, නළලේ තිලක තබා ගත් දෙමළ යුවතියන් පිරිසක් දුම්රියට ගොඩ වී ඇත. පිච්ච මල් සුවඳ ඔවුන්ගේ කෙස් කලඹේ ඇති මල් මාලවලිනි.

වියළි ධූලි සුවඳ පරයා නැඟුණු පිච්ච මල් සුවඳ

එලිෆන්ට් පාස් යනු එහි අද්විතීය පිහිටීම නිසා මෙන් ම එහි සුන්දරත්වය නිසා ද සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගත් තැනකි. එහි සොඳුරු බව සටහන් කිරීමට ලේඛකයන් බොහෝ දෙනා පෙලඹුණු රහස එයයි. අතීතයේ යාපනය සංචාරය අද මෙන් පහසු වූයේ නැත. 1905 දී කොළඹ සිට යාපනයට සංචාරය කළ යාපනයේ එවක දිසාපති, ලේඛක ලෙනාඩ් වුල්ෆ්ට ඒ සඳහා දින තුනක් ගත වී ඇත. එවකට ලංකාවේ සිවිල් සේවකයකුව සිටි ලෙනාඩ් වුල්ෆ් සිය යාපනය ගමන ගැන මෙසේ සඳහන් කර ඇත.

“අනුරාධපුර සිට අලිමංකඩ දක්වා සැතපුම් සියයක් පමණ ගමන් කළ හැකි එකම ක්‍රමය තැපැල් කෝච්චිය නමින් ව්‍යවහාර කළ ගොන් බැඳි විශාල කරත්‍තයි. ඒවාහි බිම තැපැල් මලු පුරවා තබා ඇති අතර මගීහු තැපැල් බෑග් මත නිදාගෙන ගමන් කරති. "

ගොන් බැඳි කරත්තයේ නැග අලිමංකඩට පැමිණීම යනු දින එකහාමාරක පමණ වෙහෙසකර ගමනක් බවත් එතැන් සිට යාපනයට දුම්රියෙන් යා හැකි බවත් වුල්ෆ් වැඩිදුරටත් සඳහන් කර ඇත. අලිමංකඩ සුන්දරත්වය විස්තර කිරීමට ද ඔහු එහිදී අමතක කර නැත. මුහුදේත්, කුරුල්ලන්ගේත්, කළපුවෙන් හමා එන සුළඟේත් ජීවමාන බව පාඨකයාට ළඟා කිරීමට තරම් ඔහු ඒ ගමන වින්දනය කර ඇත.

බොහෝ දේ වෙනස් වී ඇති බව සැබෑ නමුත් මුහුදත්, කුරුල්ලනුත්, කළපුවේ හඬත් එදා වුල්ෆ් දුටු විලසටම අදටත් ඇසිය හැකි ය: දැකිය හැකි ය.

මේ තල් ගස් නිහඬ ඉරියව්වෙන් අදටත් බලා සිටියි

අලිමංකඩට එම කුතුහලය දනවන නම දුන්නෝ ලන්දේසීහු ය. අලිමංකඩ යනු යාපනය අර්ධද්වීපය දිවයිනට යාකරන නොගැඹුරු කළපුවක් හරහා වැටුණු මුහුදු මාර්ගයට නමයි. ලන්දේසි සමයේ මෙරටින් අලි ඇතුන් අපනයනය කිරීමට යාපනයට නුදුරු කරයිතිව් (Karaitivu) දූපත යොදාගෙන ඇත. දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් අල්ලා ගත් අලි ඇතුන් යාපනය අර්ධද්වීපයට ගෙන යාම සදහා කළපුව හරහා මාර්ගය භාවිත කර ඇත. අලින් ගමන් නො කළත් අදටත් මේ පිවිසුම අලිමංකඩ ම ය.

වැසි නොමැති කාලවල අලිමංකඩ

වැසි නොමැති කාලවල අලිමංකඩ ප්‍රදේශය කාන්තාරයකට නොදෙවෙනි ය. මඟ දෙපස ක්‍ෂිතිජ ඉම දක්වා විහිදුණු තල් ගස් බලා සිටින්නේ යාල් දේවිය උතුරු අර්ධද්වීපයට පිළිගැනීමට මෙනි.

අර්ධද්වීපයේ දී යාල්දේවියට හමු වන තවත් එක් දුම්රිය නැවතුම් පොළක් වන්නේ නාවට්කුලි ය. එහිදී ඇස ගැටෙන සොඳුරු දසුනක් නම් A 32 මන්නාරම පාර හරහා යාපනය දෙසට යන යාල් දේවිය ගේ ගමන් මඟට මදක් නොදුරෙන් තල් ගස් අතරින් දිස්වන අලුතින් හුණු පිරියම් කළ චෛත්‍යයයි.

යාපනය දුම්රියපළ

යාපනය යනු හින්දු බැතුමතුන්ගේ හදවතයි. කෝවිල් රැසක් මැද දිස්වෙන මේ විහාරය A 9 මාර්ගයේ ගමන් කරන කෙනකුට සිතන්නට බොහෝ දේ පවසන බවක් හැඟේ. යාපනය යනු අදටත් සිංහල මිනිසුන් ද ජීවත් වන භූමියකි. වුවමනාවක් නොමැතිකමින් යාපනය සිංහල මහා විද්‍යාලය වැසී ගිය ද නාවට්කුලිය වැනි ගම්වල අදටත් සිංහල මිනිස්සු පදිංච් ව සිටිති. උත්තර නැති එවැනි ප්‍රශ්න දහස් ගණනක් තාමත් මේ බිම්වල ශේෂ වී ඇත.

සැතපුම් ගණනාවක් දිව ආ යාල් දේවිය අර්ධද්වීපයේ ඉතිරි නගර වේගයෙන් පසු කරමින් යාපනය වෙත දිව යයි. ගමන අතර වාරයේ විඩා නිවා ගනු පිණිස ඉරිඟු කරලක්, කජ්ජාන් (රට කජු), පනම් කිලන්ගු (කොට්ට කිලන්ගු), වඩයක් සමඟ බැදුණු මිරිස් කරල් කීපයක් ද වරදින්නේ නැත.

හිරු බටහිර අහසේ ගිලීමට සූදානම් ය. හෝරා හතක පමණ ගමනක් ගෙවා යාල් දේවිය කන්කසන්තුරේට සේන්දූ වී අවසන්‍ ය. දුම්රිය නැවතුම්පොළට නුදුරින් පෙනෙන්නේ කන්කසන්තුරේ වෙරළ උද්‍යානය හා ප්‍රදීපාගාරයයි. කලකට මත්තෙන් මේ ප්‍රදීපාගාරය නෞකා බොහොමයකට පාර කියූවත් අද මහ මුහුද දෙස බලා නිසොල්මන්ව සිටී. එයින් මඟ අසන නාවිකයන් අද නැතිවා වැන්න.

හෝරා හතක පමණ ගමනක් ගෙවා යාල් දේවිය කන්කසන්තුරේට සේන්දූ වී අවසන්‍
යාපනය යනු අප රටේ ම එක් අර්ධයකි. සංචාරකයකුට නැවුම් අත්දැකීම් සම්භාරයකි. යාපන ජනතාවගේ මනරම් ජීවිතය, ඔවුන්ගේ අභිමානවත් සංස්කෘතිය මොහොතකින් විඳ, වටහා ගත නොහැකි තරම⁣ට ගැඹුරු ය. ඒ සඳහා ඔබට ගවේෂකයකුගේ ඉවත්, දේශාඨකයකුගේ ධෛර්යයත්, ඉවසීමත්, විමසුම් ඇසත් වුවමනා කෙරේ. යාපනයේ ආහාර සංස්කෘතිය ද එහි රස ද වෙනම ම හඳුනා ගන්නට කලක් ගත වුව ද යාල්පානම් දෙමළ වැසියාගේ සහෝදරත්වයෙන් පිරි හදවත ද ඔවුන්ගේ මිත්‍රශීලීබව, සංග්‍රහශීලීබව එක මොහොතකින් හදවතට දැනෙන තරමට ම උණුසුම්ය.


කවරයේ පින්තූරය - කන්කසන්තුරේ අහස් කුස - Sharmila Vinothini 
මූලාශ්‍ර :

ලක්බිමේ සත් වසක් - ප්‍රේමචන්ද්‍ර අල්විස් පරිවර්තනය

facebook.com/palmyrahisland/

facebook.com/groups/RDMNS/

newsfirst.lk

relluwa.com 

slrailwayforum.com 

lankadeepa.lk 

6. සොඳුරු බව මේ ලෙසයි මන්නාරමේ

ගල්ෆ් කිව්ව ගමන් මතක් වෙන්නේ ගල්ෆ් රටවල්. ලංකාවේ මන්නාරම් දූපතත් ගල්ෆ් කලාපයේ පිහිටා තිබෙන්නේ කිව්වොත් පිළිගන්නවා ද? ඌදා පූ (දම් පාට මල්‍) බ...