Wednesday, November 3, 2021

3. චෙම්මනි යන පාරෙන් එන්න ගත-සිත නිවන නොන්ගු බොන්න


 මේ මගේ යාපනයේ පිලිබද සටහන් ගොනුවක්....

කියවන්න ඔබට ආරාධනා 

උතුරු අර්ධද්වීපයේ තල් සෙවණට වී හින්දු සංස්කෘතියේ අපූරුතම අංග, උත්සව දැක එහි මිහිරියාව රසවිදිමින්, විවිධත්වය උගනමින් කුළුබඩුවලින් රස ගැන්වූ කකුලුවන්, ඉස්සන්,දැල්ලන් සමග ඕඩියල් පිට්ටු,කුරක්කන් ඉදිආප්ප,තෝස,වඩ මෙන්ම ධාන්‍ය යොදා සැකසූ මෝතගම්,කොලුකටෙයි,පනම්කායි පනියාර්,කේසරි ආදි වූ රසවත් විවිධත්වයෙන් යුතු භෝජන රසවිදිමින් සංචාරයක ඉසව්වන් සොයා වඩමාරච්ච් , තේන්මරච්ච්,යාල්පානම්,වලිකාම්මහි මග දිගට සංචාරය කරන යාල් ආගන්තුකයාගේ අත්දැකීම් හා චායාරූප සමූහයක එකතුවකි.එන්න යාල් දේවියෙන් කාශ්ටක ‍යැයි කියන නමුත් භවබෝගයෙන් ඵලබරවූ යාල් අර්ධද්වීපයේ සුන්දරත්වය නරඹන්න .සහෝදරත්වයේ අත්වැල් පවුරු බදින්න.

Hi guys, go through the following links to read about Land of the palmyrah and heart of the Island’s Hindu culture, Jaffna. And how they offer some delightful crunchy munchies. This is the time to chew into those sweets, spicy or downright alien flavors of exotic Jaffna.

යාපනේ නගර සීමාවේ ඉදන් A 9 පාර දිහාවට යන්න තියන හොඳ ම කෙටි පාර තමා චෙම්මනී පාර. කෙළින් ම ඔය පාරෙන් ගියොත් වැටෙන්නේ චාවකච්චේරි  නගර සීමාවට.

නල්ලූර් කෝවිල පහුකරගෙන පේදුරුතුඩුව පැත්තට යනකොට දකුණු පැත්තට වෙන්න, ගාම්භීරව ඉන්න සංකිලි රජතුමාගේ පිළිමයක් හම්බ වෙනවා.සංකිලි කියන්නේ යාපනය  රාජධානිය පාලනය කළ රජ කෙනෙක්. චෙම්මනී පාර පටන් ගන්නේ එතනින්. තල් ගස් අතරින් ඉස්සරහට යද්දී A 9 පාර ළඟදි , මහා විශාලෙට ඉදිකරපු තොරණ් රාජයෙක් එක්ක චෙම්මනී පිවිසුම් ද්වාරය පේනවා.

චෙම්මනී පිවිසුම් ද්වාරය - facebook.com/palmyrahisland

වසර ගාණක් ආපස්සට හැරිලා බැලුවොත් නම් ඉතින් මේ චෙම්මනී පාර ගැන රස කතා නෑ. අපේ දෙමළ කවියෝ ඒ ගැන හරි හරියට කවි ලියා තියෙනවා. මේ චෙම්මනි පාර දෙපැත්තේ තල් ගස්  මුරකාවල් ලාගෙන පේළියට ඉන්නේ වැළලී ගිය  අඳුරු අතීතයේ බිහිසුණු කතා රැසක් මතකයේ දරාගෙන.  

යාපනේට ඉතින් කවදත් හොඳට ම කාස්ටක අව්ව. වැහි පොද එන්නේ එහෙන් මෙහෙන් වගේ.  මන්දාරමත් එක්ක වැටෙන මේ පොද වැස්ස  අර ඉරි තැලුණු මහ පොළොව කොහොම එක්තැන් කරන්නද මන්දා.

ජූලි මාසෙ ආඩිකූල් 

මේ පටන් ගන්නේ නිරිත දිග මෝසම් සුළඟ සමඟ එන  වර්ෂා කාලය. ඒ නිසා මුහුද පැත්තෙන් හමා එන හුළඟත් හරිම සැරයි.

ලංකාවේ කෘෂිකර්මාන්තය මෝසම් වර්ෂා සමඟ යා වෙන්නක්. ඒ යල කන්නය සහ මහ  කන්නය විදියට.

මෙහෙ කියන විදියට හිරු පොළොවට ළං වී ගමන් කරන කාල සීමාව "යල කන්නය ". ඉතිරි කාල සීමාව  "මහ කන්නය". ඊසාන දිග මෝසම් වර්ෂාව ලැබෙන්නේ මහ කන්නයට අයත් වන දෙසැම්බර් සිට පෙබරවාරි කාල සීමාවේ. නිරිත දිග මෝසම් වර්ෂාව නම් අප්‍රේල් සිට අගෝස්තු කාල සීමාවේ. මේ අධික වර්ෂාවෙන් කුඹුරු ඉඩම් අස්වද්දා ලබා ගන්නා අග්‍රපලය යොදාගෙන හින්දු බැතිමතුන් ජනවාරි මාසයේ "තෛපෝන්ගල් " සමරනවා.

ජූලි මාසයේ රස බලන්න පුළුවන් අවේණික ආහාර වට්ටෝරුව තමා " ආඩිකූල්"

ඌෂ්ණත්වය පාලනයට හොඳ ම පානය ආඩිකූල්

වර්ෂය අවසන් වෙද්දී අස්වැන්නෙන් සකසාගත් සහල් හිඟ කාලය උදාවෙනවා.ඒ නිසා වෙනත් අනුභෝග වන ධාන්‍ය ආදිය ආහරවලට එකතු කර ගත යුතු වෙනවා. එය සංකේතවත් කරන්නේ මේ "ආඩි පිරප්පු " පූජාවත් සමඟ. තවත් අයෙකු දරන මතය අනුව මේ ඇරඹෙන්නේ සූර්යයා ‍රශ්මි විහිදුවාලන බොහෝ ඌෂ්ණ අධික සමය. මේ සමයේ ශරීර ඌෂ්ණත්වය පාලනය කිරීමට හොඳ ම පානය ආඩිකූල්.

අර්ධද්වීපයේ එක යායට උසට වැවුණු තල් ගසුත් අහස දිහා බලාගෙන ඉන්නේ , කවදා  මහ වැස්සක් වැටෙයිද කියන බලාපොරොත්තුවෙන්.

චෙම්මනි පාර දෙපැත්තේ යායට  පීදී කිරිවැදුණු ගොයම ගොවියාට අස්වනු දන්දී ඉපනැලි වෙලා. මේ කුඹුරු යායවල් දැන් ගව රංචු දිගෙලි කරන්න කියාපු තැන්.

මෙහෙ කුඹුරු වැඩ  ගොඩක් ම වෙන්නේ ලොකු යකඩ ගොඩවල් එක්ක පොර බදන ගමන්.මොකද පේන නොපෙනෙන මානයේ තියෙන්නෙ කුඹුරු.ඒ අස්සෙ ම කුඹුරුවල එකෙළ මෙකෙළ වෙමින් උලාකන ගව රංචුවලත්, එළු රංචුවලත්  අඩුවක් නම් නෑ.

නොන්ගු, අපේ පළාත්වල කුරුම්බා හා සමානයි. මේවා " තල් කුරුම්බා "

පාර දෙපැත්තේ දිය අගල් නැතුවා ම නොවෙයි. වැහි කාලෙට ඒවා හොඳට ම වතුර පිරිලා වුණත් දැන්නම් ලොකුවට වතුර නෑ. නාවට්කුලි පාලම පහුවෙද්දි වතුර පිරුණු දිය අගල් දකින්න පුළුවන්.

දන්නවද තවත් දෙයක්? බටහිර අහසේ ගිලෙන ඉර බලන්න කියාපු තැන තමා මේ චෙම්මනී පාර. අහස් කුසේ වර්ණ ‍රටා බලන්න හරි අපූරුයි.

උතුරු අර්ධද්වීපයට  හොදටම ඉර මුදුන් වෙලා. මහ පොළොව ගිනිබත් කරන්න තරම් කාස්ටක අව්වක්.මේ දවස්වල අව්වේ තරම හරියට ම දැනගන්න ඕන නම් මෝටර් සයිකලයක් පැදගෙන පාරක් දිගේ ඈතට යන්න ඕන.

මෝටර් සයිකලය පදවන මට  පාර පුරාවට වතුර පෙනෙනවා.

හිරු දෙවියන්ගේ මායාව

"මහ වැස්සකුත් නැතුව,කිසිම ජල මූලාශ්‍රයක් පේන තෙක් මානයේ නැතුව පාරට වතුර ගලන්නේ කොහොමද? "  ඉස්සරහට යන්න යන්නම අර කිව්ව වතුර නැතිවෙනවා. හරියට මැජික් එකක්  වගෙයි.

මට ම උත්තරේ ඉබේ ම හමුවෙනවා. ඒ තමා  "මිරිඟුව". හිරු දෙවියන්ගේ මායාවක තරම කොහොමද?

නොදැනුම්වත්ව ම මෝටර් සයිකලය හරවන්න සිග්නල් එකත් දාලා. ඔන්න රථය පාර අයිනේ නැවැත්තුවා, නොන්ගු බොන්න.

"එවලව්?" ( ගාණ කීයද? )

"අම්පතු ! " එකක් පනහයි ලු.

ගෙන්දගම් පොළොවේ ඕන දෙයක් විකිණෙන සමයක මේ තල් අරණේ තල් ගෙඩියට පවා මිලක් නියම වීම අරුමයක්ද?


තල් කුරුම්බා ගෙඩියේ දියරමය  ලොඳ සහිත කාමර තුනක් තියනවා 

යාපනය අර්ධද්වීපය  තල්ගස්වල නිජ බිම. මේ බිමේ අස්සක් මුල්ලක් නෑර කටෝර මහ පොළොව දරාගෙන ඉන්න තල්ගස්වලින් ලැබෙන නොන්ගු, අපේ පළාත්වල කුරුම්බා හා සමානයි. කොටින්ම මේවා " තල් කුරුම්බා " කියා හඳුන්වන්න පුළුවන්.

යාපනේ පැත්තේ ළඟදි දවසක ආව කෙනෙක් නම්,  පාර අයිනේ මේ තල් කුරුම්බා ඉති තියාගෙන ඉන්න උදවිය දැකලා ඇති.මේකත් අවුරුද්දේ හැම කාලෙකම හැදෙන්නේ නෑ. හැදෙන්නේ අවුරුද්දට ම දින කීපයයි. ඒ අප්‍රේල් අග මැයි මාසේ මුල වගේ.

තල් කුරුම්බා ගෙඩියේ දියරමය  ලොඳ සහිත කාමර තුනක් තියනවා. ඇඟේ ඌෂ්ණේ මකා ගන්න කියාපු පානය.

රසේ කොහොම වෙතත් කඳේ කටු නිසා ගහේ නඟින එකනම් එතරම්  සුන්දර නෑ. ඒ නිසාම අපේ පැතිවල  කුරුම්බා, තැඹිලි වෙළඳාම වගේ  ලොකු නොන්ගු වෙළඳාමක් මෙහේ නෑ. ගහේම පැහිලා ඉදිලා වැටිලා යනවා. 

මේ  පානයේ  කැල්සියම්, පොස්පරස්, සින්ක්, විටමින් බී , සී , අනෙකුත් ඛනිජ , ස්වාභාවික සීනි වැනි පෝෂ්‍යපදාර්ථ  පිරී තියනවා.

මේ රසවත් ගිම්හාන පානය කැලරි වටිනාකමෙන් ඉතා අඩු බැවින් දියවැඩියා රෝගීන්ට කදිමයි.සමට සහ ආමාශයට බෙහෙවින් යහපත් කියලා තමා අහන්න ලැබුණේ.

නොන්ගු ලොඳ (වම) හා නොන්ගුවක රස තල් ගොටුවක (දකුණ)

නොන්ගුවලින් හදන ආහාර වට්ටෝරුත් කීපයක් තියෙනවා.ඒ  නොන්ගු පාල්(කිරි), නොන්ගු පානය වගේ බීම වර්ග. ඊට අමතර ඕඩියල් පිටි නැත්තම් තල් පිටි මිශ්‍ර කරලා හදාගන්න  "තල් කැවුම් " "තල් බීම " , "ඕඩියල් කුල් " කියන මුහුදු මාළු සුප් වගේ තල් ගහෙන් හදාගන්න කෑම වර්ග මෙහේ හරිම ජනප්‍රියයි.

අද වගේ කාලෙක සුපර් මාර්කට් එකකට ගිහින් ගන්න රසායනික ද්‍රව්‍ය මුසු කළ බීම වගේද මේ බීම වර්ග? ප්ලාස්ටික් කාඩ්බෝඩ් අසුරන නැතු ව ස්වාභාවික ව ගහෙන් නෙළාගෙන වෙළඳාම් කරන අපේම දේ. එදා වේල වෙනුවෙන් පොර බදින අපේ පොඩි මිනිහාගේ දේ. සිය රට දේ සිරි සැප දේ !

තල් ගහ කියද්දී මතක් වෙන තව දෙයක් තමා "කොට්ට කිලන්ගු"  (பனம் கிழங்கு) "ඔඩියල් "එහෙමත් නැත්නම් තල් අලවල රස තමා  මේ. "කොට්ට" නම් බීජ. "කිලන්ගු" නම් අල.


තල් ගහ කියද්දී මතක් වෙන තව දෙයක් තමා "කොට්ට කිලන්ගු" 

උඩිනුත් රස යටිනුත් රස 

ශුෂ්ක භුමියේ කහවන් රත්තරන්,ඔඩියල්. මිහිරි උක් තීරුවකට සමාන  තරමක් ආකර්ෂණීය පෙනුමක් ඇති අහාරයක්.පොළව යට හැදෙන අලයක්.

තිරුණවේලි ජන්සන් ( Tirunelveli Junction ) පැත්තේ, ජැෆ්නා ෆෝට් පැත්තේ ‍රවුම් ගහපු ඕන කෙනකුට නැවුම් කහ-සුදු සැරයටි වැනි කොට්ට කිලන්ගු අහුරක් ගන්න අමතක වෙන්නේ නෑ. නෙල්ලි කෝඩියල්, පන්නතු (pannatu) අර්ධද්වීපයට ආවේණික වූ තවත් අරුම පුදුම කෑම බීම වර්ග.

තැන තැන තල් ගස් සිටුවීම ඉපැරැණි සිරිතක්

උණුසුම් අර්ධද්වීපයේ තැන තැන තල් ගස් සිටුවීම ඉපැරැණි සිරිතක්. නියමිත වේලාවට මහ පොළව උඩු යටිකුරු කරලා නිස්සාරණය කරන අල, කූඩයට ගොඩ ගැසූ විට අලංකාර ලී වැනි ඔඩියල්.

ඔඩියල් සාමාන්‍යයෙන් අනුභව කරන්නේ වියළි විදිහට. වේලකට පැය ගණනක් හපන්න පුළුවන්. කම්මැලිකම යන්න හප හපා ඉන්නත් පුළුවන් හරියට වෙළඳ පොළේ ඇති කුඩා චිප්ස්, බිස්කට් වගේ. තම්බලා සරල ව ආහාරයට ගන්නත් පුළුවන්. කහ ටිකක්  ලුණු  ස්වල්පයක් දැමූ විට එය මෘදු,  ඉස්ම සහිත කෑමක්.

යාපනයේ රසවත් අනන්‍යතාව පෝෂණය කරන ඔඩියල් කූල් සහ පිට්ටු ,පාම් පොෂා විදිහටත් දකින්න පුළුවන්.

කොට්ට කිලන්ගු ⁣⁣ඔසු ගූණය 

මේ කොට්ට කිලන්ගුවල  ඖෂධීය ගුණ කිහිපයක්:

කොට්ට කිලන්ගු දියවැඩියාව පාලනය කරන ඔසුවක්. කෑම දිරවීමත් ක්‍රමවත් කරනවා. කෙඳි සහිතයි.ප්‍රමාණවත් ප්‍රෝටීන අඩංගුයි. පරිවෘත්තීය වේගවත් කරනවා.

* නිර්මාංශික සහ සත්ත්ව ආහාරවලින් තොර අය සඳහා ඉතා ඉහළින් නිර්දේශ කෙරෙන ඉහළ පෝෂ්‍යදායී අන්තර්ගතයක්.

* රතු රුධිර සෛලවල නිසි යකඩ ප්‍රමාණයක් සහ තඹ, ප්‍රමාණයක් පවත්වා ගනිමින් ශරීරයේ රුධිර සංසරණය වැඩි දියුණු කළ හැකි ආහාරයක්.

* පෝෂ්‍ය පදාර්ථ ඉතා ඉහළ නමුත් කැලරි ඉතා අඩු නිසා ආහාර වේලට පහසුවෙන් එක් කරගත හැකියි. අපි යමක් කෑමට සූදානම් බව අපේ මනසට පවසන කුසගිනි හෝමෝනය (hungry hormone) වන ග්‍රෙලින් (ghrelin) මුදා හැරීම වළක්වා ගැනීම ද ඉන් සිදු කරනවා.

* ඔමේගා -3 (omega -3)මේද අම්ලවල ප්‍රභවයක් .කොලෙස්ටරෝල් අඩංගුයි ඒත් ඒවා “හොඳ” කොලෙස්ටරෝල් වන (HDL කොලෙස්ටරෝල්). රුධිර නාළවල හා ධමනි වල ඇති හානිකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කළ හැකි කදිම ඔසුවක්.

* ළදරු සෞඛ්‍යය හා සම්බන්ධ ස්නායුක නළ දෝෂ (neural tube defects) යනු බී විටමින් සංකීර්ණයේ සාමාජිකයකු වන ෆෝලේට් ඌණතාවේ වඩාත් පොදු අතුරු ආබාධයක්.සැලකිය යුතු ෆෝලේට් ප්‍රමාණයක් කොට්ට කිලන්ගුවල අන්තර්ගත වෙනවා.

* විටමින්-සී (vitamin C) අන්තර්ගත නිසා ශරීරයේ සුදු රුධිරාණුවලට ආසාදන හා රෝගවලට එරෙහි ව සටන් කිරීමට ප්‍රබල උත්තේජකයක්. (Antioxidant activity).


චෙම්මනි පාර අසල සිට ඉර ගිලෙනු නරඹමින්

ඔබේ ආහාර වේලට එක් කර ගත යුතු හොඳ පිළිකා නාශක තේරීමක්. විටමින් සී, විටමින් ඒ මෙන්ම ඇමයිනෝ අම්ල සහ ප්‍රෝටීන (විශාල එන්සයිම ද ඇතුළු ව) ශරීරයේ නිදහස් රැඩිකල් අන්තර්ගතයට බලපෑම් කළ හැකියි.

ඔබේ ඊළඟ යාපන සවාරියේ දී චෙම්මනි පාර අමතක නොකරන්න මතක තබා ගන්න. එහි සිට ඉර ගිලෙනු නරඹමින් නෙත පිනවන අතරතුර කොට්ට කිලන්ගු රසයක් දිව අග තිබුණොත් යාපනයේ සුන්දරත්වයත් යාපනයේ රසයත් ජීවමාන වනවා ඇති.




















Sunday, October 24, 2021

2. යාල් දින පොත 2

 යාල්දේවියෙන් යාල්පානමට යන්න එන්න දේවි


වේලාව උදෑසන අට පසු වී මිනිත්තු පහ⁣ළොවකි. ගල්කිස්සේ සිට හැල්මේ දිව ආ යාල් දේවිය මඳක් නැවතී හුස්මක් ගන්නේ කුරුණෑගල දී ය. පළමුවෙනි වේදිකාවේ මඳක් තැන්පත් වී සිටින ඇය, විටින් විට සැර දමමින් නොඉවසිලිමත් බවක් පළ කරන්නේ මෙතැන් සිට ඉදිරියට යා යුතු දුර ගැන සිහිවීමෙන් වත් දො යි සිතෙයි. යාල් දේවිය ගේ නොඉවසිලිමත් ගෙරවිල්ල අතරින් දුම්රියපළේ යකඩ කට ද රැල් බුරුල් හැර කුමක්දෝ අඩව්වක් අල්ලන්නට සැරසෙයි.

"සවන්දෙන්න ! මේ කුරුණෑගල දුම්රිය ස්ථානයයි. පළමුවෙනි වේදිකාවට දැන් පැමිණි යාල්දේවී නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් කන්කසන්තුරේ බලා පිටත්වේ. දුම්රිය නවත්වන්නේ ; මහව හන්දිය , ගල්ගමුව, තඹුත්තේගම, තලාව, අනුරාධපුර, වව්නියාව, කිලිනොච්චිය, අලිමංකඩ, පලෙයි, කොඩිකාමම්, යාපනය සහ කන්කසන්තුරේ ."
ගල්කිස්සෙන් ගමන් ආරම්භ කර කොළඹ කොටුව , ගම්පහ, පොල්ගහවෙල පසුකරමින් KKS  හෙවත් කන්කසන්තුරය දක්වා කිලෝමීටර් හාරසියයක පමණ දුර ගෙවා දිවෙන උදෑසන නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මැයයි. යාල්දේවි යන මේ දුර ගමන අතරතුර උතුරු දුම්රිය මාර්ගයේ ඇයට හමු වන අනෙක් යෙහෙළිය නම් උත්තරදේවිය යි. ඊට අමතර තවත් ශීඝ්‍රගාමී දුම්රියක් හා රාත්‍රි තැපැල් දුම්රියක් ද මේ මඟෙහි ධාවනය කෙරේ.

සවන්දෙන්න ! මේ කුරුණෑගල දුම්රිය ස්ථානයයි

උතුරු දුම්රිය මඟ යනු, වයඹ පළාත සහ උතුරු මැද පළාත හරහා විහි දී උතුරු පළා‍තේ කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් අවසන් වන දිවයිනේ දීර්ඝත ම දුම්රිය මාර්ගයයි. මෙහි දුර කිලෝ මීටර 339 ක් වන අතර පොල්ගහවෙල සහ වවුනියාව අතර පමණක් දුම්රිය නැවතුම් 55 කි. ගල්කිස්ස සිට නම් ඊටත් වැඩි ය.

ගැඹුරු හුස්මක් අදින යාල් දේවිය ගෙවන්නට ඇති ඉදිරි දුර දිග පළල මනිමින් කුරුණෑගලට සමුදෙයි.

අතරමගදී ඇය මඟ දෙපස නිල්ල ගැසුණු සාරවත් කෙත්වතු පසු කර ඇදේ. වැව් බැදි රාජ්‍යයේ අහස් කුස සිඹිමින් මව් දෙරණට රැකවල් සලසන සුදෝ සුදු දාගැබ් ද, වෙහෙර විහාර ද, විවිධ දෙවිවරුන් නෙක මුද්‍රාවලින් කැටයම් වූ කෝවිල් ද ඇයට එම ගමනේදී හමු වේ. ඒ යන ගමන අතරතුර ඇය වැව්,අමුණු අසලින් හැල්මේ ගමන්කරමින් ගංගා රැසකින් ද එතෙරව දිව යයි.

සංහිදියාවේ අන්තර් යාත්‍රිකයා

යාල් දේවි යනු බටහිරින් පටන්ගෙන මව් ධරණි තලයෙන් අඩක් පසු කර උතුරට දිවෙන සංහිදියාවේ අන්තර් යාත්‍රිකයාය යි කිව හැකි ය.

මෙරට යටත් විජිත‍යක් බවට පත් කරගත් විදේශිකයෝ මේ මහ පොළොවේ සශ්‍රීක බවත් සුන්දරතාවත් දුටහ. වර්ෂ එක්දහස් අටසිය අසූවේදී උතුරේ වනගත ප්‍රදේශවල සැරිසැරූ හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා එකී පෙදෙස්හි නොදියුණු බව දැක සංවර්ධනය කිරීමේ පියවරක් ලෙස ප්‍රවාහන මාධ්‍ය දියුණු කිරීමට කටයුතු කළේය. එහි පළමු අදියර ලෙස 1887 දී උතුරට දුම්රිය මාර්ගයක් තැනීමට කොමිසමක් පත් කළ බව දුම්රිය ඉතිහාසයේ සදහන් වේ. අදියර කිහිපයක් යටතේ දුම්රිය මඟ ඉදි වන පසුබිමක 1895 නැවත කොමිසමක් පත් කෙරුණේ, ජනතාවගේ දැඩි ඉල්ලීම නිසාය. 1900 වසරේ අප්‍රේල් මස සිට අදියර දෙකක් ඔස්සේ කුරුණෑගල සිට යාපනය දක්වාත් පසුව කන්කසන්තුරය දක්වාත් දුම්රිය මඟ ඉදි විය.


යාල් දේවියේ මංගල ගමන සම්බන්ධව එදා පළ වුණු පැරණි දැන්වීමක්

යාල් දේවියේ මංගල ගමන

යාල් දේවියේ මංගල ගමන යෙදුණේ 1953 අප්‍රේල් විසි තුන්වන දින ය. එවකට ශ්‍රී ලංකාවේ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ව සිටියේ බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල ය. ඔහුගේ මුලිකත්වයෙන් ශීඝ්‍රගාමී දුම්රිය තුනක් රටේ තුන්කොනට ධාවනය කෙරිණ. මාතර දක්වා රුහුණු කුමාරි, බදුල්ල දක්වා උඩරට මැණිකේ සහ කන්කසන්තුරය දක්වා යාල්දේවී ය.

1990 දශකයේ ඊළාම් යුද්ධය හේතුවෙන් දුම්රිය ගමන නතර වන තෙක් ම වසර ගණනාවක් පුරා මගීන්, බඩු භාණ්ඩ ප්‍රවාහනයට යාල් දේවිය දායක වූවා ය. විරාමයකින් පසු, තිස් වසරක යුද්ධය නිමා ව උතුරේත් දකුණේත් සහෝදරත්වය හා ළෙන්ගතුකම තහවුරු කරන්නට යාල්දේවි සිය යාල්පානම් ගමන නැවත ආරම්භ කළේ 2014 වර්ෂයේදී ය.

යාල්දේවි සිය යාල්පානම් ගමන නැවත ආරම්භ කළේ 2014 වර්ෂයේදී ය 

සයුර සිඹ තෙත් බරව හමා එන උතුරු සුළඟ

අනුරාධපුරය සිට වව්නියාව දක්වා ‍ දුම්රිය මග දෙපස සාරවත් ය, හරිත ය.පීදීගෙන එන කුඹුරුවල නිදහසේ ඇවිද යන මොණරුන් පලින් පල නිතර නෙත ගැටේ. ගහකොළ හරිත පැහැයෙන් බර ය.සතා සිව්පාවන් ද කෙළිදෙලෙන් වසන්නා වැන්න.

ලෝකයේ හොඳ ම දුම්රිය මාර්ගයක් වුණු යාපනය – කොළඹ දුම්රිය මග වීඩියෝව මෙතනින් නරඹන්න.

උතුරු මැද පළාත කෙමෙන් පසුකර යත් ම දුම්රිය මඟ අවට පරිසරයෙහි කටු පඳුරු, ලඳු කැලෑ සහිත වියළි කලාපීය භූ විෂමතා ලක්ෂණ ඉස්මතු වේ. දැන් යාල් දේවිය උතුරු සුළඟ සමඟ පොර බදමින් උතුරු පළාත හරහා ඉදිරියට ගමන් කරයි. සයුර සිඹ තෙත් බරව හමා එන උතුරු සුළඟින් හිරුගේ අමිහිරි කාෂ්ටක බව නිවේ. කෙත්බිම්වල ළපටි තණ උලා කමින් සරන විශාල එළු රංචු දුම්රියේ හඬට කන් ඔසවා බලන්නේ සුපුරුදු කෙනකු දුටු විටෙක මෙනි. නිදහසේ දිගේලි කළ ගවයන් ද තැනින් තැන ගාල් කළ ගව පට්ටි ද මේ බිමේ සුපුරුදු දසුන්ය.

භූමිය කාෂ්ඨටක අව්ව දරා සිටින්නේ මතු දිනෙක වර්ෂාවක් බලාපොරොත්තුවෙනි

යාපනය යනු හිරිගල් තට්ටුවක් මත වැලි මිශ්‍ර පසක පිහිටි වියළි කලාපීය භූමි ප්‍රදේශයකි. වර්ෂාව ඒ බිමෙහි සිරස සිඹින්නේ වසරේ මාස කීපයකට පමණි. එහෙයින් ම තැනින් තැන මහ පොළොව ඉරිතැලී ගොස්‍ ය. භූමිය මහා ධෛර්‍යයකින් යුතුව කාෂ්ඨටක අව්ව දරා සිටින්නේ මතු දිනෙක වර්ෂාවක් බලාපොරොත්තුවෙන් මෙනි. මවිතයට කරුණ නම් මේ කාෂ්ඨක භූමියේත් පෙනෙන තෙක්මානය පුරා විහිදුණු කුඹුරු ඉඩම් පැවතීම ය. මේ වන විට ඒවාහි අස්වනු නෙළා අවසන්‍ ය. ඉපනැලි අහසට අත් ඔසවා සිටින්නේ, කෙතට තෙත ගෙනෙන්නට අහසට යදින්නා සේ ය.

යාපනයට ඇතුළු වන එකම පිවිසුම් දොරටුව

ගමන අතරතුර හමු වන එක් තැනක් නම් යාපනය අර්ධද්වීපයේ ද්වාර මණ්ඩපය වන අලිමංකඩ ය. A9 පාර ඔස්සේ යාපනය දෙසට ගමන් කරන්නකුට නම් වවුනියා, පුලියන්කුලම්, මාන්කුලම්, පනික්කන්කුලම්, මුරුකන්ඩි, කිලිනොච්චි යන නගර පසු කරමින් අවසානයේ අලිමංකඩ වෙත පැමිණීමට සිදු වේ.

යාපනය අර්ධද්වීපයේ අලින් සිටියාද? යන්න කුතුහලයට කාරණයකි. එලිෆන්ට්පාස් යනු අලින් ගමන් කළ මාර්ගයක්ද?අර්ධද්වීපයට ගමන් කරන්නකුට මේ ගැන කුහුලක් ඇති වනවාට සැකයක් නැත.

යාපනය අර්ධද්වීපයේ ද්වාර මණ්ඩපය වන අලිමංකඩ 

මෑතක් වන තුරුම යාපනයට ඇතුළු වන එකම පිවිසුම් දොරටුව වූයේ අලිමංකඩය. කළපුව හරහා ගමන් කරන්නකුට නම් අලිමංකඩ ලුණු ලේවායත්, ඈතින් චාවකච්චේරියට නුදුරු A 32 මන්නාරම මාර්ගයට යාබද සුළං බල කුලුනු පේළියත්, පසෙක හසලක ගාමිණී රණවිරුවා ගේ අනුස්මරණ ස්මාරකයත් දැකගත හැකි ය.

ඈත බටහිර අහසින් ගිලිහී වැටෙන්න⁣ට සැරසෙන සුරත් පලයක් වන් ගිනි රතු ඉර මඬල සවස් කාලයේ අහස් කුස ලතු උලා විචිත්‍රවත් කර ඇත. එතැන් සිට ඉදිරියට ගමන් කරන්නකුට භූමිය වඩ වඩාත් සමතලා වී ඇති අයුරුත්, වෘක්ෂලතා ආදියෙහි වෙනස්වීම් ද හොඳින් නිරීක්ෂණය වනු ඇත. රටේ සෙසු ප්‍රදේශවල මෙන් සෙවණ සපයන පැතිරුණු විසල් ගස් මෙහි නැත. පැතලි භූ දර්ශනය මත ආධිපත්‍යය පතුරුවන එකම වෘක්ෂය තල් ගස්දැයි සිතේ. සෙවණ සදනු වෙනුවට ඒවා ද ආලෝක දහරාවලට අනුගත ව ඉහළට නැඟී සිටී.

මේ  යාල් දේවි හා උත්තර දේවිය එකට මුණගැසුණු අවස්ථාවක්

උතුරු අර්ධද්වීපයට අනන්‍යතාවක් වුව, සංචාරකයන්ගේ කැමරා කාචවල නොයක් රටා මැවූව ද, සෙවණක් ලබා නොදෙන ආත්මාර්ථකාමීන් පිරිසක් බඳු මේ තල් ගස් නිහඬ ඉරියව්වෙන් අදටත් බලා සිටින්නේ දශක තුනක අමිහිරි යුද්ධයක මතකවලින් කම්පිත වූවන් සේය.

වියළි ධූලි සුවඳ පරයා නැඟුණු පිච්ච මල් සුවඳකි. නෙක වර්ණ සාරියෙන් හැඩ ව, නළලේ තිලක තබා ගත් දෙමළ යුවතියන් පිරිසක් දුම්රියට ගොඩ වී ඇත. පිච්ච මල් සුවඳ ඔවුන්ගේ කෙස් කලඹේ ඇති මල් මාලවලිනි.

වියළි ධූලි සුවඳ පරයා නැඟුණු පිච්ච මල් සුවඳ

එලිෆන්ට් පාස් යනු එහි අද්විතීය පිහිටීම නිසා මෙන් ම එහි සුන්දරත්වය නිසා ද සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගත් තැනකි. එහි සොඳුරු බව සටහන් කිරීමට ලේඛකයන් බොහෝ දෙනා පෙලඹුණු රහස එයයි. අතීතයේ යාපනය සංචාරය අද මෙන් පහසු වූයේ නැත. 1905 දී කොළඹ සිට යාපනයට සංචාරය කළ යාපනයේ එවක දිසාපති, ලේඛක ලෙනාඩ් වුල්ෆ්ට ඒ සඳහා දින තුනක් ගත වී ඇත. එවකට ලංකාවේ සිවිල් සේවකයකුව සිටි ලෙනාඩ් වුල්ෆ් සිය යාපනය ගමන ගැන මෙසේ සඳහන් කර ඇත.

“අනුරාධපුර සිට අලිමංකඩ දක්වා සැතපුම් සියයක් පමණ ගමන් කළ හැකි එකම ක්‍රමය තැපැල් කෝච්චිය නමින් ව්‍යවහාර කළ ගොන් බැඳි විශාල කරත්‍තයි. ඒවාහි බිම තැපැල් මලු පුරවා තබා ඇති අතර මගීහු තැපැල් බෑග් මත නිදාගෙන ගමන් කරති. "

ගොන් බැඳි කරත්තයේ නැග අලිමංකඩට පැමිණීම යනු දින එකහාමාරක පමණ වෙහෙසකර ගමනක් බවත් එතැන් සිට යාපනයට දුම්රියෙන් යා හැකි බවත් වුල්ෆ් වැඩිදුරටත් සඳහන් කර ඇත. අලිමංකඩ සුන්දරත්වය විස්තර කිරීමට ද ඔහු එහිදී අමතක කර නැත. මුහුදේත්, කුරුල්ලන්ගේත්, කළපුවෙන් හමා එන සුළඟේත් ජීවමාන බව පාඨකයාට ළඟා කිරීමට තරම් ඔහු ඒ ගමන වින්දනය කර ඇත.

බොහෝ දේ වෙනස් වී ඇති බව සැබෑ නමුත් මුහුදත්, කුරුල්ලනුත්, කළපුවේ හඬත් එදා වුල්ෆ් දුටු විලසටම අදටත් ඇසිය හැකි ය: දැකිය හැකි ය.

මේ තල් ගස් නිහඬ ඉරියව්වෙන් අදටත් බලා සිටියි

අලිමංකඩට එම කුතුහලය දනවන නම දුන්නෝ ලන්දේසීහු ය. අලිමංකඩ යනු යාපනය අර්ධද්වීපය දිවයිනට යාකරන නොගැඹුරු කළපුවක් හරහා වැටුණු මුහුදු මාර්ගයට නමයි. ලන්දේසි සමයේ මෙරටින් අලි ඇතුන් අපනයනය කිරීමට යාපනයට නුදුරු කරයිතිව් (Karaitivu) දූපත යොදාගෙන ඇත. දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් අල්ලා ගත් අලි ඇතුන් යාපනය අර්ධද්වීපයට ගෙන යාම සදහා කළපුව හරහා මාර්ගය භාවිත කර ඇත. අලින් ගමන් නො කළත් අදටත් මේ පිවිසුම අලිමංකඩ ම ය.

වැසි නොමැති කාලවල අලිමංකඩ

වැසි නොමැති කාලවල අලිමංකඩ ප්‍රදේශය කාන්තාරයකට නොදෙවෙනි ය. මඟ දෙපස ක්‍ෂිතිජ ඉම දක්වා විහිදුණු තල් ගස් බලා සිටින්නේ යාල් දේවිය උතුරු අර්ධද්වීපයට පිළිගැනීමට මෙනි.

අර්ධද්වීපයේ දී යාල්දේවියට හමු වන තවත් එක් දුම්රිය නැවතුම් පොළක් වන්නේ නාවට්කුලි ය. එහිදී ඇස ගැටෙන සොඳුරු දසුනක් නම් A 32 මන්නාරම පාර හරහා යාපනය දෙසට යන යාල් දේවිය ගේ ගමන් මඟට මදක් නොදුරෙන් තල් ගස් අතරින් දිස්වන අලුතින් හුණු පිරියම් කළ චෛත්‍යයයි.

යාපනය දුම්රියපළ

යාපනය යනු හින්දු බැතුමතුන්ගේ හදවතයි. කෝවිල් රැසක් මැද දිස්වෙන මේ විහාරය A 9 මාර්ගයේ ගමන් කරන කෙනකුට සිතන්නට බොහෝ දේ පවසන බවක් හැඟේ. යාපනය යනු අදටත් සිංහල මිනිසුන් ද ජීවත් වන භූමියකි. වුවමනාවක් නොමැතිකමින් යාපනය සිංහල මහා විද්‍යාලය වැසී ගිය ද නාවට්කුලිය වැනි ගම්වල අදටත් සිංහල මිනිස්සු පදිංච් ව සිටිති. උත්තර නැති එවැනි ප්‍රශ්න දහස් ගණනක් තාමත් මේ බිම්වල ශේෂ වී ඇත.

සැතපුම් ගණනාවක් දිව ආ යාල් දේවිය අර්ධද්වීපයේ ඉතිරි නගර වේගයෙන් පසු කරමින් යාපනය වෙත දිව යයි. ගමන අතර වාරයේ විඩා නිවා ගනු පිණිස ඉරිඟු කරලක්, කජ්ජාන් (රට කජු), පනම් කිලන්ගු (කොට්ට කිලන්ගු), වඩයක් සමඟ බැදුණු මිරිස් කරල් කීපයක් ද වරදින්නේ නැත.

හිරු බටහිර අහසේ ගිලීමට සූදානම් ය. හෝරා හතක පමණ ගමනක් ගෙවා යාල් දේවිය කන්කසන්තුරේට සේන්දූ වී අවසන්‍ ය. දුම්රිය නැවතුම්පොළට නුදුරින් පෙනෙන්නේ කන්කසන්තුරේ වෙරළ උද්‍යානය හා ප්‍රදීපාගාරයයි. කලකට මත්තෙන් මේ ප්‍රදීපාගාරය නෞකා බොහොමයකට පාර කියූවත් අද මහ මුහුද දෙස බලා නිසොල්මන්ව සිටී. එයින් මඟ අසන නාවිකයන් අද නැතිවා වැන්න.

හෝරා හතක පමණ ගමනක් ගෙවා යාල් දේවිය කන්කසන්තුරේට සේන්දූ වී අවසන්‍
යාපනය යනු අප රටේ ම එක් අර්ධයකි. සංචාරකයකුට නැවුම් අත්දැකීම් සම්භාරයකි. යාපන ජනතාවගේ මනරම් ජීවිතය, ඔවුන්ගේ අභිමානවත් සංස්කෘතිය මොහොතකින් විඳ, වටහා ගත නොහැකි තරම⁣ට ගැඹුරු ය. ඒ සඳහා ඔබට ගවේෂකයකුගේ ඉවත්, දේශාඨකයකුගේ ධෛර්යයත්, ඉවසීමත්, විමසුම් ඇසත් වුවමනා කෙරේ. යාපනයේ ආහාර සංස්කෘතිය ද එහි රස ද වෙනම ම හඳුනා ගන්නට කලක් ගත වුව ද යාල්පානම් දෙමළ වැසියාගේ සහෝදරත්වයෙන් පිරි හදවත ද ඔවුන්ගේ මිත්‍රශීලීබව, සංග්‍රහශීලීබව එක මොහොතකින් හදවතට දැනෙන තරමට ම උණුසුම්ය.


කවරයේ පින්තූරය - කන්කසන්තුරේ අහස් කුස - Sharmila Vinothini 
මූලාශ්‍ර :

ලක්බිමේ සත් වසක් - ප්‍රේමචන්ද්‍ර අල්විස් පරිවර්තනය

facebook.com/palmyrahisland/

facebook.com/groups/RDMNS/

newsfirst.lk

relluwa.com 

slrailwayforum.com 

lankadeepa.lk 

Sunday, October 17, 2021

1. යාල් දින පොත 1

පුට්ටුවයි සාම්බාරුයි . . . 



 ඉරාජ්ගේ කොත්තු සින්දුව

මට කොත්තුත් ඕනෙ ,මට ලයිමුත් ඕනෙ
සම්බෝල ටිකක් උඩින් දාල ,චීස් ටිකක් වැඩියෙන් දාල
ටකට ටකට ටකස් ගාල,ගේන්න මල්ලි දැන්.........
යාපනයේ ව්ශ්ව විද්යාලයේ ඉගෙනගන්න අයට කොත්තුවට තිත තියලා පුට්ටුවලට (පිට්ටුවලට) සෙට් වෙන්න උනා.
ඒ ඉතින් අපේ අහාර රටාව යාපනයේදි වෙනස් උන නිසා.
කොන්ඩාවි හොස්ටල් හිටපු පලවෙනේ අවුරුද්දේ මෙඩිසින්, ලෝ, මැනේජ්මන්ට්, සම සෞඛ්‍යය පීඨයේ අපේ අය දන්නවා "අම්මාච්ච්" පුට්ටුවයි සාම්බාරු.......නෑ නෑ....... කුලම්බුවේ(හොදි/ gravy) රස.
ඉතින් පිට්ටු ගැන කියන්න හිතුනේ ලගදි දැක්ක යාපනයේ
පුට්ටු සින්දුව(puddu song/Thesiya unavu/புட்டு பாடல்/தேசிய உணவு/யாழ்ப்பாணம்)නිසා.
හදිසියේම පිට්ටු එහෙම නැත්නම් පුට්ටු කරලියට ආවේ ගිය නොවැම්බර් මාසේ යාපනයේ උසාවියෙන් පුට්ටු-පීට්සා ගැටුම එක්ක.(Jaffna Court hots up over pizza puttu battle !!!)ඒ ගැන කතා කරන්න අමාරුයි.
සර්ච් කරලා බලන්න ගූගල් එකේ.
ඒ යාපනයේ එදා මෙදා තොර එකම ෆේවරිට් එක "පුට්ටු"(අපේ සිංහල විදිහට නම් ඒ තමා පිට්ටු )
පුට්ටු යාපනයේ උදේ ආහාරය සහ රාත්‍රී ආහාරය යන දෙකටම ජනප්‍රිය ආහාරයක්.
සාම්ප්‍රදායික උණ බම්බු වල තැම්බන්නේ.තරමක් දිග උණ බම්බුවක්.විෂ්කම්භය අඟල් තුනක් විතර.
ක කපු රෙද්දකින් ඔතලා ඇතුළත රවුම් සිදුරු සහිත පොල් කටුවක් දාල හදලා තියෙන්නේ.
බම්බුව තියන්නේ උතුරන වතුර භාජනයක් මත.
ඔඩියල් (වියලූ තල් මුල් පිටි) භාවිතයෙන් පිසින ලද සාමාන්ය පුට්ටු, නිවිති භාවිතයෙන් පිසින කීරා පුට්ටු.
වර්ග ගොඩක් තියනවා.
යාපනේ යන්නම ඕනේ ඒවා කන්න.
තල් ගසේ සෑම කොටසක්ම දෙමළ ජනයාට සේවය කරනවා.
පංකා හැඩැති කොළ ඔටුන්නේ ඉදලා මුල් දක්වා යාපනය දෙමල ජනයාට සුවිශේෂී.
යාල්_දිනපොත
විදුනි බස්නායක

6. සොඳුරු බව මේ ලෙසයි මන්නාරමේ

ගල්ෆ් කිව්ව ගමන් මතක් වෙන්නේ ගල්ෆ් රටවල්. ලංකාවේ මන්නාරම් දූපතත් ගල්ෆ් කලාපයේ පිහිටා තිබෙන්නේ කිව්වොත් පිළිගන්නවා ද? ඌදා පූ (දම් පාට මල්‍) බ...