Monday, January 31, 2022

6. සොඳුරු බව මේ ලෙසයි මන්නාරමේ


ගල්ෆ් කිව්ව ගමන් මතක් වෙන්නේ ගල්ෆ් රටවල්. ලංකාවේ මන්නාරම් දූපතත් ගල්ෆ් කලාපයේ පිහිටා තිබෙන්නේ කිව්වොත් පිළිගන්නවා ද?

ඌදා පූ (දම් පාට මල්‍) බලන්න චාවකච්චේරි හරහා පූනාකරී (පුනරින්) ගියාට සංගුපිටි පාලම පහුකරගෙන මන්නාරම එන්න ලැබේ කියලා නම් හිතුනේ නෑ. මොන දේ වුණත් අර රාජ සියක්කාරයන්ගේ (ෆ්ලැමින්ගෝ කුරුල්ලන්ගේ) නැටුම් දැකපු මං සරසාලෙයි දී හිතුවා දවසක යන්න ඕනේ මන්නාරම බලන්න කියලා. මේ සංක්‍රමණ පක්ෂීන් ඉන්දියන් සාගරයේ නැගෙනහිර ඉන්දු වෙරළ තීරය ඔස්සේ පහළට පියඹාගෙන කැල්මියන් තුඩුවත්, රාමේෂ්වරනුත් පසු කරන පෘථිවියේ වූ චුම්භක ක්ශේත්‍ර හරහා ශ්‍රී ලංකාවට ඇවිත් ගොඩක් වෙලාවට කාලය ගත කරන්නේ මේ මන්නාරම් කළපු ආශ්‍රිතව.
යාපනෙන් මාර්ග අංක 812 යාපනය - මන්නාරම බස් එකක නැගලා කිලෝමීටර් 127ක දුරක් ආවමයි මන්නාරම ටවුන් එක.
යාපනෙන් බස් එකක නැගලා කිලෝමීටර් 127ක දුරක් ආවමයි මන්නාරම ටවුන් එක


සංගුපිටි පාලම

මේ ගමනේ දී සංගුපිටි පාලම පහු කරන නිසා පාලම ගැනත් යමක් කියන්නම්. සංගුපිටි පාලම (කින්නියා පාලම) යනු ශ්‍රී ලංකාවේ දිග ම පාලම වන අතර එහි දිග මීටර් 396 (අඩි 1,299) ක්.එය කොඩියාර් බොක්ක සහ තම්බලගම් බොක්කෙන් වට වූ කළපුව තරණය කරනවා. එය ත්‍රිකුණාමලය, කින්නියා සමඟ සම්බන්ධ කරන, සිවිල් වැසියන්ට කින්නියා කළපුව තරණය කර A9 මාර්ගයෙන් කින්නියා සහ මුත්තූර් ප්‍රදේශ කරා ළඟා විය හැකි පහසු ම මග තනනවා.

යාපනේ එක් ඉසව්වක සිට මන්නාරම දෙසට දිවෙන සංගුපිටි පාලම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංගුපිඩි හා යාපන දිස්ත්‍රික්කයේ කරයිතිව් සම්බන්ධ කරනවා.

සංගුපිටි පාලම
මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙ කඩං
හඳට අඬං සිංදු කියන්නී...කුණ්ඩුමනී
කුණ්ඩුමනී... කුණ්ඩුමනී...ආ.. කුණ්ඩුමනී

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද මාලාවක් වික්ටර් රත්නායකයන්ගේ සංගීතයට ප්‍රෙඩී සිල්වාගේ හඬින් ගැයෙන මේ ගීතයෙන් මන්නාරම් පිටි වැල්ලේ සිටින කුණ්ඩුමනී කෙනකුගේ චිත්තරූපයක් අසන්නාගේ සිතෙහි මැවෙනවා.

මන්නාරම් ගල්ෆ් (බොක්ක) කලාපය යනු ඉන්දියාවට ආසන්නව ම පිහිටි ශ්‍රී ලංකාවේ කොටසයි. මන්නාරම හා ඒ අවට ඉහළ දූපත් කිහිපයත් ඉන්දියාවට ආසන්න රාමේශ්වරම්,ධනුෂ්කෝඩි ඇතුළු දූපත් කිහිපයත් දෙරටින් එළියට නෙරා ඇත්තේ එකිනෙකාගේ අත් අල්ලාගන්නට වගෙයි.


මන්නාරම රැකවල් කළ මන්නාරම් බළකොටුව

මන්නාරම් ගල්ෆ් කලාපය

කලෙක මන්නාරම දකුණු ඉන්දියාව සමඟ බෝට්ටු සේවයකින් සම්බන්ධ වී තිබුණා. දැනට ද ශ්‍රී ලංකාවේ වතු ආර්ථිකයට දිරි දෙන, උඩරට ද්‍රවිඩ ජනයා මෙරටට පැමිණියේ මෙම මන්නාරම් තොටෙන් බවත් කියැවෙනවා. දැනටත් මෙම ප්‍රදේශයේ ද්‍රවිඩ ජනයා බහුතරයක් වෙසෙන බව පේනවා.

"ගල්ෆ්" යන වචනය යොදාගන්නේ විශේෂිත භූ විෂමතා කිහිපයක් ඇති මුහුදු ප්‍රදේශයක් හැදින්වීමටයි. මුහුදට නෙරා ගිය විශාල භූමි භාග දෙකකට හෝ එක් රටකට, රටවල් කිහිපයකට හෝ අයත් විශාල මුහුදු සීමාවකින්, එහෙම නැත්නම් වෙරළ තීරයකින් වටවුණු මුහුදු බොක්කක් "ගල්ෆ්" කලාපයක් ලෙස හදුන්වනවා.

මේ කලාපය විශාල සාගරයට විවෘත වෙලා තිබෙන වපසරිය අඩුයි. ඒ වගේ ම කරදිය ජලයේ සංයුතිය තරමක් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුහුදු බොක්කක් වගේ නෙවෙයි මෙවැනි මුහුදු ප්‍රදේශ ඉතා විශාලයි. වර්ග කිලෝමීටර ලක්ෂ ගණනක් වන්නත් පුළුවනි. කුඩා ඒවාත් නැතුවා ම නෙවෙයි. ගල්ෆ් මුහුදු කලාපයක ලක්ෂණ තිබුණු පමණින් යම් භූ විෂමතා කලාපයක් ගල්ෆ් මුහුදක් ලෙස හඳුන්වන්නේත් නැහැ.

මන්නාරම් දූපත

මන්නාරම් දූපත

අපේ මන්නාරම් දූපත සහ ඒ කලාපයේ කුඩා දූපත් රැසක් ඇතුළු ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඉන්දියාවේ ගිනිකොන දිග මුහුදු තීරය අතර නොගැඹුරු මුහුදු කලාපය හැඳින්වෙන්නේ "මන්නාරම් ගල්ෆ් කලාපය" නමින්.

මන්නාරම කියන්නේ කෘෂිකර්මාන්තයට කියාපු කලාපයක්. ඒ නිසාම මන්නාරම හදුන්වන්නේ " බෝල් ඔෆ් රයිස් " කියලා. ධීවර කර්මාන්තයත් අපූරුවටම වෙනවා මේ වගේම ශ්‍රී ලංකාවේ තියන ප්‍රධාන ම සුළං බලාගාර තියෙන්නෙත් පූනාකරී හා තලෙයිමන්නාරමේ.

මන්නාරම තම්බපන්ණි මෙගාවොට් 100 ලං.වි.ම සුළං බලාගාරයේ විදුලි ඒකක ජනනයයි. මන්නාරම් ද්‍රෝණිය කියන්නේ දන්නා ඉතිහාසයක් තුළ දකුණු ආසියාවේ හොඳින් ම සුළං හමන ස්ථානයයි. මෙහේ ආවාමයි තේරෙන්නේ හමන සුළඟ හරිම වේගවත් කියලා.

වංශ කතා පාර දිගේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සොයා යන්නකුට එහි දී හමු වන පළමු සංධිස්ථානයක් වෙන්නේ මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශ‍යයි. යුග ගණනක් පසුකර "ආර්ය ජනාවාස" මත පදනම් වූ ඉතිහාසයකට දිවයන්න හැකි මංසලත් මේ මල්වතු ඔය හෙවත් කදම්භ නදියයි.

කම්හල⁣ට මැටි දුන් මුරුක්කන් 

මේ මල්වතු ඔය රජරට නාච්චාදූවෙන් පැනනැඟ ගලා ගෙන විත් මඩුපාරට සැතපුමකට ඉහළින් දෙපසට බෙදී ගලා යන්නේ මල්වතුඔය සහ අරවිආරු යන නම්වලින්. මල්වතු ඔය මුහුදට එක්වන්නේ දෙමළ උච්චාරණය අනුව " සිලාතුරෙයි " එහෙමත් නැත් නම් සිලාවතුරෙන් (සිල්වතුරෙන්). අරවිආරුව මඩු ගම්මානයේ පිරිපත දොවාලමින් ගලා ගොස් මුරුන්කන් හි යෝධ වැවට එකතු වෙනවා. මේ යෝධ වැවෙන් තමයි ඒ කාලෙ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට දුම්රියෙන් මැටි ගෙන ගියේ.

මල්වතුඔය හා අරවිආරු දෙපසට බෙදෙන තේක්කම නම් ස්ථානයේ, ජනශ්‍රැතියට අනුව පත්තිනි මෑණියන්ගේ හා පුල්ලෙයාර් දෙවිඳුන්ගේ ලෙස සැලකෙන දර්ශනීය සෙල් පිළිම දෙකක් දක්නට ලැබෙනවා.

මහා වංශය දක්වන පරිදි මල්වතු ඔය, මුල් කොටසේදී අරුවි ආරු ලෙසින් ද මුවදොර පෙදෙසේ දී කදම්භ නදී ලෙසින් ද හඳුන්වා ඇති බව පෙනෙනවා. විජය කුමරු ලංකා දීපයට ගොඩබට තම්මැන්නාව පිහිටියේ ද මේ නදියේ දකුණු ඉවුරේ බවට අනුමාන කෙරෙනවා.

වෙහෙසට පත්ව නැවෙන් ගොඩබට විජය ඇතුළු පිරිස පොළොවෙහි අත් ඔබා ඉඳගත් පසු ඔවුන්ගේ අත්ල භූමියෙහි දූවිල්ලෙන් තඹවන් වූ හෙයින් ඒ පෙදෙස ද , දිවයින ද තම්බපණ්ණී නම් වූයේය යනු අපේ වංශකතාවයි.

මන්නාරමේ තවත් වැදගත් ස්ථානයක් තමයි ඩොරික් බංගලාව

මුතු බැඳි සිලාවතුරෙන් ඩොරික් බංගලාව⁣ට  

තම්බපණ්ණිය නරඹන්න යන්න වෙන්නේ විල්පත්තු අභයභූමිය පැත්තෙන්. අරිප්පු තියෙන්නෙත් ඒ ළඟපාත. හදිස්සියේ ම අරිප්පු මතක් වුණේ මුතු බෙල්ලන් නිසයි. මන්නාරම් අවට මුහුදේ කිමිදී මුතු පර වලින් නෙළු මුතු යටත්විජිත සමයේ සුදු ජාතිකයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. සිලාවතුර, මරිච්ච කට්ටි ප්‍රදේශවලත් මුතු කිමිදීම සිදු ව තිබෙනවා. ශ්‍රී ලංකාව කොහොමත් "ඉන්දියන් සාගරයේ මුතු ඇටය " නොවැ?

ලංකාවේ මුතුවල තිඹිරිගෙය කියන්නෙත් මන්නාරමේ සිලාවතුර ප්‍රදේශයටයි.

මන්නාරමේ තවත් වැදගත් ස්ථානයක් තමයි ඩොරික් බංගලාව. නැත්නම් ඩොරික් හවුස්. දැන්නම් ඒක ගරාවැටීමට ලක්වුණු ගඩොල් මාලිගයක්. "ඩොරික් " කියන්නේ ග්‍රීක භාෂාවෙන් ආරුක්කු හා කුලුනු සහිතයි කියන එක. ඒක ලංකාවෙ ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝත් හදවපු එයාගේ මාලිගාව. අධික හිරු රැස්වලට ඔරොත්තු දෙන්න ගඩොලින් කර ඇති එය මෙරට ඉදිවුණු මන්ස්කාන්ත ම ගොඩනැඟිලි අතරින් එකක්. 

ඩොරික් බංගලාවට සමීප මන්නාරම් මුහුද

වයඹ මුහුදු තිරයේ මන්නාරමට වන්නට පිහිටි සිලාවතුර සහ කොණ්ඩච්චි බොක්ක ආශ්‍රිතව අරිප්පු මුහුදු තීරයේ ඉදිකර ඇති අපූරුත ම ගෘහ නිරිමාණ ශිල්පයට අයත් ඩොරික් බංගලාව වර්මාතනයේදීත් සැලකෙන්නේ ගෘහනිර්මාන ශිල්පයේ අපූරුතම නිර්මාණයක් ලෙසයි.


ග්‍රීසියේ ගෘහ නිර්මාණ ශිල්පය

ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා ඉංග්‍රීසි ජාතිකයෙකු වුවත් තම බංගලාව සදහා ග්‍රීසියේ ගෘහ නිර්මාණ ශිල්පය යොදාගැනීම පිළිබඳ රහස තවමත් අනාවරණය වී නෑ. .ඩොරික් යන්නෙහි  ග්‍රීක භාෂා තේරුම ශක්තිමත් යන්නයි. මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලේ පහළ මාලය කුඩා නිදන කාමර හතරකින් සහ ඉහළ මාලය පෝටිකෝවකින් යුක්තයි. අසල මුහුදේ සිදුවන ක්‍රියාකාරකම් නැරඹීම සදහා විශාල ඉඩක් වෙන්කර තිබූ බව ද  සඳහන්. ඉහළ මාලයට ගමන් කිරිමට ගඩොල් සහ ඝනකමින් යුත් බදාම යොදා ගෙන පඩි පෙළක් ද වූ බවත් පවසනවා. රතු පාට, හොඳින් පිළිස්සු ගඩොල් බැමි සහ ශක්තිමත් කුලුනු මත ඉදි කර ඇති මෙම ගොඩනැගිල්ල සඳහා දවාඩගත් සිප්පි කටු මිශ්‍ර බදාමයක් යොදා ගෙන ඇති බවත් පවසනවා. 

රොබර්ට් නොක්ස්ගේ " එදා හෙළ දිව " කෘතියේ කියන්නේ උඩරට රජ කළ කොනප්පු බණ්ඩාර කුමාරයා දෝන කතරිනා සිර කර ගෙන සිටි ස්ථානය මෙය බවයි. දෙමළ බසින් එය "අල්ලේ රාණී කොටුව"යි. ඩොරික් බංගලාව ෆෙඩ්රික් නෝත් ගෙන් පස්සේ මුතුපර කිමිදීම අධීක්ෂණය කළ නිලධාරීන් රැසකට සෙවණ දුන්නා. අහන්නට ලැබුණු ආකාරයට, මෙතැන හොල්මන් ගැනත් රසවත් කතා මාලාවක් තියෙනවා.

විශාල කඳකින් යුතු බයෝබැබ් ගස

වෙළෙන්දන් සමඟ ආ බයෝබැබ් දැවැන්තයෝ 

යුරෝපීයයන් පෙරදිග වෙළඳාමට ඇඟිලි ගසන්නට ප්‍රථමයෙන් ලොව වටා වෙ⁣ළෙඳාමේ ආධිපත්‍යය තිබ්බේ අරාබින් සතුව. මන්නාරම් දූවේ බයෝබැබ් ගස් ඒ අතීත වෙළෙඳාමේ නිහඬ සාක්ෂියක්.

අප්‍රිකා පතන් බිම්හි වැවෙන විශාල කඳකින් යුතු බයෝබැබ් ගස ලංකාවේ දකින්නට ලැබෙන්නේ ස්ථාන කිහිපයක දී පමණයි. ඒ ඩෙල්ෆ් හා මන්නාරම් දූපත් ආශ්‍රිතව. අරාබි වෙළෙන්දන් මෙම ගස අප්‍රිකාවෙන් ගෙනැවිත් මෙහි සිටුවන්නට ඇති. අරාබි වෙළෙන්දන් වෙළෙඳාමට යොදාගත් ඔටුවන් ද ඒ කාලයේ මන්නාරමේ සිටි නමුත් අද ඔටුවන් නැහැ ඒ වෙනුවට මදි නොකියන්න බූරුවන් නම් ඉන්නවා.

බයෝබැබ් ගස ‘යක්ෂයාගේ ගස’ එහෙමත් නැත්නම් අලි ගහ ලෙසත් හඳුන්වනවා. මන්නාරමේ බයෝබැබ් අවුරුදු 800 පමණ පැරැණියි, උසින් මිටර් 10.5 පමණ හා වට ප්‍රමාණය මිටර් 21.10 ක්. බයෝබැබ් ශාක 40ක් පමණ ශ්‍රී ලංකාවේ ඇතැයි කියැවෙනවා.
බයෝබාබ් ගස බයෝබාබ් බෝබ්, බෝබෝවා, බෝතල් ගස, උඩු යටිකුරු ගස සහ වඳුරු පාන් ගස ලෙසද හඳුන්වනවා.

දියඹ පුරා විහිදි ධීවර බෝට්ටු 

මේ තමා වැල්ල: මන්නාරම් වැල්ල 

එය අප්‍රිකාව, මැඩගස්කරය සහ ඕස්ට්‍රේලියාව යන රටවලට ආවේණික ගසක්. බයෝබැබ් විශේෂ 8 ක්, මැඩගස්කරයේ 6 ක්, අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ 1 බැගින් ඇති බවයි කරුණු පිරික්සූ කල වැටහුණේ. ඉන් 34 ක් ම තියෙන්නේ මන්නාරමේ. වර්තමානයේ මේක පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්ථානයක් වශයෙනුත් නම්කර තියෙනවා.

බයෝබැබ් ගස ළඟ වටපිටත් තියෙන්නේ මුහුද. පේළියට නවත්තලා තියෙන ධීවර බෝට්ටු බලන්න ලස්සනයි. නවත්වා තියෙන බහුදින ධීවර යාත්‍රා නැත්නම් ට්රෝලර් බෝට්ටු දුරින් පෙනෙනවා. වෙරළට නුදුරින් පොඩි ධීවර යාත්‍රා. තැනින් තැන ඉස්සන් කොටු. වෙරළේ දැල් උස්සාගෙන ඉන්න, වීසි දැල් අදින ධීවරයෝ. බෝට්ටුවලින් අරන් එන අලුත් මාළු කන්න පොර කන කපුටන්ගේ කංකරච්චලය. තැන තැන ධීවර වාඩිවල සුරුට්ටු උරමින් විවේකීව ඉන්න ධීවරයෝ. මේ තමා වැල්ල. මන්නාරම් වැල්ල. මේක "පිටි වැල්ලක්". වැලි හරියට පිටි වගේ ම යි.

මඩු දුම්රිය ස්ථානය අසලින්  මරද මඩු දක්වා යන්නට පුළුවන්

A14 මාර්ගය හෙවත් මැදවච්චිය - මන්නාරම් පාරේ කිලෝමීටර් 48ක් ගියා ම මුණගැහෙන මඩු දුම්රිය ස්ථානය අසලින් දකුණු පැත්තට මඩු රක්ෂිත වනාන්තරය හරහා යන්නකුට මරද මඩු දක්වා යන්නට පුළුවන්.

කිතුනුවන්ට වෙන්වුණු පත්තිනි දේවාලය මරඳ මඩු 

මඩු පල්ලිය අද කතෝලික දේවස්ථානයක් වුණත්, අතීතයේ මේ භූමියේ තිබිලා තියෙන්නේ පත්තිනි දේවාලයක්. පත්තිනි දෙවියන් වෙනුවෙන් දෙවොල් මඩු ශාන්ති කර්මය කළ නිසාවෙන් "මඩු භූමිය" කියන නමත්, ඒ අවට විශාල වශයෙන් තිබූ මරඳ නොහොත් මරත ශාඛ නිසා "මරඳ" යන නමත් ලැබී අවසානයේ "මරඳ මඩු" යන නම හෝ "දෙවොල් මඩු" යන නම මෙම ප්‍රදේශයට භාවිත වෙලා තියෙනවා.


මඩු පල්ලි පිවිසුම


මන්නාරම් සංචාරයේ දී දැක බලා ගත යුතු තවත් තැනක් නම් තිරුකේතීෂ්වරම් කෝවිල.එය ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන්ගෙන් පිදුම් ලබන ප්‍රධාන ශිව කෝවිල් පහෙන් එකක්. මන්නාරම තිරුකේතීෂ්වරම් හැරුණු විට අනෙක්වා තමයි ත්‍රිකුණාමලය කෝනේශ්වරම්, හලාවත මුන්නේශ්වරම්, නගුලේශ්වරම්, කීරිමලේ හා තේනවරම් දෙවුන්දර කෝවිල්.

මේ කෝවිලේ නිර්මාණය සම්බන්ධ ව විවිධ පුරාවෘත්ත පවතිනවා. එක් කතාවකට අනුව, තිරුකේතීෂ්වරම් නිර්මාණය කරලා තියෙන්නෙ, රාවණා රජුගෙ බිසවගේ පියා යි. ඒ ශිව දෙවියන් වැඳීම උදෙසායි. හින්දු ආගමේ එන දෙවි කෙනකු ලෙස සලකන "කේතු" ට ශිව දෙවියන් මුණ ගැසුණ ස්ථානය මෙය ය යන්න ද තවත් පුරාවෘත්තයක්. තිරුකේතීශ්වරම් ලෙසින් මෙම ප්‍රදේශය නම් වන්නේත් ඒ නිසාවෙන්‍.

 සඟමිත් තෙරණියගේ විඩා නිවා හළ මාතොට වෙහෙර

සඟමිත් තෙරණියගේ විඩා නිවා හළ මාතොට වෙහෙර 

ඔය ගමන යන අතර මාතොට රජ මහා විහාරයත් හමු වෙනවා. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට පෙරහරින් වැඩ ම කරද්දී ප්‍රථම රැය නවාතැන් ගත් ස්‌ථානය ලෙස මෙම පුදබිම ජනප්‍රවාදයේ සඳහන්⁣ වෙනවා.

කිලෝ මීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් හමා එන සුළග පානම වැවේ හැපී දෙපස ඇති මහා වන පෙතට රිංගා ගන්නේ තුරු අතු පතරෙහි ආදරය ලබමින්.

දසක තුනක යුද්ධයෙන් බැට කෑ මන්නාරම, යුද්ධය අවසන් වූ පසු ව වර්තමානයේ හිස ඔසවමින් පවතිනවා. ඉන්දියාව, යුද්ධය අවසන් වූ විගස උතුරු දුම්රිය මාර්ගයත් වව්නියා සිට තලෙයිමන්නාරම දක්වා කොටසත් පිළිසකර කරන්නට ආධාර දුන්නා. පැරණි ජැටිය ආසන්නයේ ම අලංකාර ලෙස දිස්වන්නේ ලයිට් හවුස් එක. ඒ ප්‍රදීපාගාරය පහළ මසුන් මරන්නන් රැසක් බෝට්ටු වල නැඟී ධීවර කටයුතුවල නිරත වෙන ආකාරය උදෑසනක එහි ගියොත් දැකගන්න පුළුවන්.


පැරණි ජැටිය ආසන්නයේ ම අලංකාර ලෙස දිස්වන්නේ ලයිට් හවුස් එක


ඉන්දියාව තෙක් දිවෙන බව කියන වැලිපරය හෙවත් ආදම්ගේ පාලම නැත්නම් රාමාගේ පාලමත්⁣ මෙහිදී අමතක කරන්න බැහැ. වාල්මිකී ලියූ රාමායණය වීර කාව්‍යයට අනුව, රාමට ලංකාපුරයට යාමට ඔහුගේ වානර හමුදාව ආදම්ගේ පාලම තැනුවා.

"මහ සයුරේ ඝෝෂාව
ඔවුන්ගේ නොනැමෙන මහ හඬින්
යටපත් කරමින්
නාල විසින් නිමැවූ පාලම උඩින්
යුහුසුළුව ආහ ඔවුහු ලක් තෙරට"

ආදී වශයෙන් රාමායණයේ පාලම ඉදිකිරීම ගැන කිවිදිය ශර්මිලා විනෝතිනීගේ 'මහලින් වාසම්' කෘතිය සඳහන් කරනවා. නල නමැති වානර අධිපතියකුගේ අධීක්ෂණය යටතේ වානර හමුදාව දින පහක් තුළ පාලම තනා නිම කළ බවයි රාමායණය කියන්නේ. ගස්, ගල්, සහ පර්වත මුහුදේ හෙළීමෙන් ඔවුන් එය ඉදි කළේ ලු.

එකිනෙක යාවෙන පරිදි නොගැඹුරු මුහුදු තීරයේ වැලිපර ඉන්දියාවේ ධනුෂ්කෝඩිය තෙක් පැතිර පිහිටා තිබෙන බව කියන නමුත් වැලිපර ස්ථායි නොවන නිසා එකිනෙක යා වේදැයි නිශ්චිතව කීම අපහසුයි.

ඉන්දියාව තෙක් දිවෙන බව කියන වැලිපරය හෙවත් ආදම්ගේ පාලම 


පසුව ලන්දේසි වූ පෘතුගීසි බළකොටුව 

මන්නාරම් ටවුන් එකේ ඉදලා යාපනේ පැත්තට එනකොට හමුවන අලුත් පාලමේ පැත්තකින් මන්නාරම් ලන්දේසි බළකොටුව පෙනෙනවා. මුලින් ම ඒක හදලා තියෙන්නේ පෘතුගීසීන් වුණත් පස්සේ ලන්දේසින් තමන්ගේ නම දාගෙන.

ඔය අලුත් පාලම උඩින් හවසක යන කෙනකුට ඈතින් නිවී නිවී දැල්වෙන රතු පාට ආලෝක පේළියක් දකින්න ලැබෙනවා.ඒ තමා මන්නාරම් සුළං විදුලි බලාගාරය. පාලම පහුකරගෙන කළපුව දිගේ ඉස්සරහට යද්දී හමන මන්නාරම් ගල්ෆ් සුළඟේ වේගය කුඩා වාහනයකුත් සමඟ මිනිසකුත් උස්සන් යන්නට තරමට වේගවත්. පාලම උඩදී පෙනෙන මනරම් දසුනක් තමයි පෙළට නවත්වා තියෙන ධීවර බෝට්ටු.

මන්නාරම් බළකොටුව ගැන චරිත් ගුණරත්නගේ කැමරාවෙන් ගොනු වුණු මේ වීඩියෝ දසුන් පෙළ ඔබේ රස වින්දනය තවත් ඉහළ නංවවි!


මුහුදු රැල්ලෙ සද්දෙ පරයා නැඟෙන කපුටු කා කා කන් කරච්චලයෙත් අඩුවක් නෑ. ඔවුන් නොනවත්වා කෑකෝ ගහමින් කුළල් කා ගන්නේ මාළු පොදිවලින් තමන්ටත් කොටසක් වෙන්කර ගන්නයි. මේ සියලු දේ එක්තැන් වූ විට ඒ තමයි මන්නාරමේ සුන්දරතාව. නම ඇසූ පමණින් සිතට එන්නේ තරමක කර්කෂ හැඟීමක් වුවත් වෙහෙසකර සතියකින් පසුව විවේකී සති අන්තයක් ගතකරන්න කදිම ගමනාන්තයක් වශයෙන් මන්නාරම හඳුන්වා දෙන්න පුළුවනි. මේ කොරෝනා ප්‍රශ්නය තුරන් වුණු දවසක ඔබේ විනෝද චාරිකා සිතියමටත් මන්නාරම එකතු කර ගන්න මතක තබා ගන්න.

මූලාශ්‍ර:

The ancient colonial architectural style of Srilanka - Upul Thammita 

එදා හෙළ දිව -රොබර්ට් නොක්ස් 

 lankadeepa.lk

facebook.com/mathotarajamahaviharayamannar

චරිත් ගුණරත්න - charithmania.blogspot.com 

Sunday, December 12, 2021

5. ජාවක ජනාවාසයක් වුණු චාවකච්චේරියට ගමනක්

 

යාපනයේ ආගන්තුක සංචාරකයාගේ මේ පාර ගමනාන්තය චාවකච්චේරි(சாவகச்சேரி) යයි. චාවකච්චේරිය තියෙන්නේ යාපනේ අර්ධද්වීපයේ දකුණු කොටස වෙන තේන්මරච්චිවල. යාපනය අර්ධද්වීපය කියන්නේ තේන්මරච්ච්, වඩමාරච්ච්, යාල්පානම්, වලිකාමම් යන ප්‍රදේශත්, නයිනතිව්, කයිට්ස්, මන්ඩතිව්, කරෙයිනගර් යන දූපත් සමූහයකිනුත් සමන්විතව යි. අර්ධද්වීපයේ උතුරට වන්නට වඩමාරච්ච් පිහිටා ඇති අතර දකුණට වන්නට තේන්මරච්ච් පිහිටා තියෙනවා. යාල් දේවි දුම්රියෙන් යාපනේට සේන්දු වෙන කෙනෙක් නම් දන්නවා චාවකච්චේරි නගරය තියෙන්නේ "සංකේතානෙයි" හා "කොඩිකාමම්" කියන දුම්රියපොළ දෙක අතරමැද්දේ කියලා.

 චාවකච්චේරි දෙමළ බසින් சாவகச்சேரி ලෙස හදුන්වන අතර එය උතුරු අර්ධද්වීපයේ පිහිටි විශාල - සුළු නගරයක්. "චාව+කච්චේරි" යන වචනයේ තේරුම ජාවානු ජනාවාසයක් යන්නයි. ඉතිහාසයේ තතු විමසන කල එහි ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා චන්ද්‍රභානු නම් පාලකයෙක් ජනාවාස සහ බළකොටු පිහිටුවාගෙන සිටි බවත් අහන්න ලැබෙනවා.

මේ ඒ ගැන පවතින එක විග්‍රහයක්.

ක්‍රි.ව. 1292 දී පමණ මෙරටට පැමිණි මාර්කෝ පෝලෝ නම් වැනීසියානු වෙළෙන්දා තම දේශාටන වාර්තාවේ දක්වා ඇත්තේ ලංකාවේ උතුරේ පාලන බලය සෙන්දමේන් නම් රජකු විසින් පාලනය කරන ලද බවයි. පරණවිතාන මහතාට අනුව මාර්කෝ පෝලෝ සඳහන් කළ සෙන්දමේන් යනු චන්ද්‍රභානු වන අතර යාපනය ජාවක ප්‍රදේශයක් ව පැවති බව එමගින් පැහැදිලි වන බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දේ. ජාවකයන්ගේ බලපෑම යාපනයේ ප්‍රදේශ නාමවල ද දැකිය හැකි ය. ජාවාවරුන්ගේ බළකොටු තිබූ ප්‍රදේශය ජාවාකෝට්ටය ලෙස හැදින්වේ. ජාවාකච්චේරිය හෙවත් දෙමළින් චාවකච්චේරිය යන නම් ලැබීමට ද එවැනිම පසුබිමක් ඇත. සෙනරත් පරණවිතාන මහතා දක්වන්නේ යාපා පටුන ද, මුලින් හඳුන්වා ඇත්තේ ජාවා පටුන ලෙස බවයි. -thevanaesa.blogspot.com                             

කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය මුල්කරගෙන ජීවත්වන ජන කොඨටාසයක් ජීවත්වන චාවකච්චේරිය විටෙක නොසන්සුන් නගරයක්. ඒ මේ නගරය A9 පාරට නුදුරින් පිහිටා තිබීම නිසා විය හැකියි. යාපනේ ඉඳන් යාපනය - නුවර A 9 පාර දිගේ චාවකච්චේරිය දිහාවට යද්දි යාපනයේ චෙම්මනි හංදිය හමුවනවා. ඒ මහා විශාල තොරණ් රාජයෙක් එක්ක. ඒ හංදිය පහු කරනවත් එක්ක ම හම්බෙන්නේ නාවට්කුලි පාලම.

චෙම්මනී පිවිසුම් ද්වාරය 

නාවට්කුලි පාලම දෙපස බලන්නකුට නම් පේන්නේ දිය අගලක්. මසුන් වෙනුවෙන් ඔබ මොබ සැරිසරන සංචරණ පක්ෂීන් එකා දෙකා සක්මන් භාවනාවේ නිරත වෙන අන්දම නම් අපූරුයි. නාවට්කුලි පාලමට මත්තෙන් පාරේ දකුණු පස සුදු පාටින් ම හුණු පිරියම් කළ කෝවිලක් ද නෙත ගැටෙනවා. පාලමේ අපූර්ත්වය නම් පා පැදි වෙනුවෙන් ම වෙන් වුණු මංතීරුවක් තිබීමයි. හේතුව නම් උතුරු අර්ධද්වීපයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් නම් පා පැදිය යි. කාගේත් ගමන් සගයා මේ පා පැදිය යි.

සිවභූමි යාපනය කෞතුකාගාරය 

නාවට්කුලි දුම්රියපොළට හා පාලම අතර "සිවභූමි යාපනය කෞතුකාගාරය " දැකිය හැකියි. හුදෙක් ම යාපනයේ යට ගිය ඉතිහාසය එක් තැනකට එක්කාසු කළ නටබුන්, චිත්‍ර, උපකරණ, පැරණි වාහන ආදිය සහිත කෞතුකාගාරයක්. A9 පාරේ යාපනයේ සිට නුවර බලා යන කල පාරෙන් දකුණු පසට වන්නට පිහිටි "සිවභූමි යාපනය කෞතුකාගාරය " දැකිය හැකියි.

සිවභූමි යාපනය කෞතුකාගාරය ඇතුළත 

එහි යාපනය සහ ලංකාවේ අනෙකුත් ප්‍රදේශ පාලනය කළ දෙමළ රජවරුන්ගේ ප්‍රතිමා,පැරණි කාර්, වෑන් සහ ගොන් කරත්ත එකතුවක් ද දැකිය හැකියි.

සිවභූමි යාපනය කෞතුකාගාරය ඇතුළත 

තවත් ඉස්සරහට යද්දි නාවට්කුලි දුම්රියපොළ හමුවනවා. දුම්රියපොළ අසලින් හැරිලා මන්නාරම පැත්තට ධාවනය කළොත් "නෙයිතල් බීච් සිටි වෙරළ උද්‍යානය" හම්බෙන්නේ. මේ බීච් සිටි ජලජ ක්‍රීඩාවල නිරත වීමට කදිම තැනක්. නාවට්කුලි මං සන්දියේ පසෙකින් තල් ගස් අතරින් පේන්නේ අලුතින් හුණු පිරියම් කළ ලස්සන වෙහෙරක්.

නෙයිතල් බීච් සිටි වෙරළ උද්‍යානය - facebook.com/palmyrahisland

යාපනය නම් හින්දු බැතුමතුන්ගේ හදවතයි. බැලූ බැලූ අත කෝවිල් පෙනෙන මේ පළාතේ සුදෝ සුදුවන් චෛත්‍යයක් දකින යාල් ආගන්තුකයාට මෙහෙම හිතෙනවා. අදටත් යාපනේ කියන්නේ සිංහල මිනිස්සු, අපේ දෙමළ සගයන් සමඟ සහජීවනයෙන් ජීවත් වෙන ප්‍රදේශයක්. යාපනයේ සිංහල මහා විද්‍යාලය වැහිලා ගියාට අදටත් නාවට්කුලි වගේ ගම්වල සිංහල මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. උත්තර නැති ප්‍රශ්න දහස් ගානක් තාමත් මේ බිම්වල ශේෂ වී ඇතත් ඒවාට විසඳුම් නම් තව ම නෑ.

කජ්ජාන් මුහුදු තීරය

යාපනේ අර්ධද්වීපය ඉන්දියන් සාගරෙන් වට ව තිබුණත් චාවකච්චේරිය තියෙන්නේ රට ඇතුළට ආපූ මුහුදෙන් හැදුණු පොඩි කළපුවක. ඒ කළපුවත් බලන්න හරි ලස්සනයි. චාවකච්චේරියේ "කජ්ජාන් මුහුදු තීරය"ට යන්නකුට නම් ඈතින් පේනවා සුළං කුලුණු පෙළක් සහිත සුළං විදුලි බලාගාරයක්. මේ මන්නාරම A 32 පාරට නුදුරින් පිහිටි සුළං විදුලි බලාගාරයයි.ඊට මත්තෙන් තමා තියෙන්නේ "සංගුපිටි පාලම".

සංගුපිටි පාලම 

අසා ඇති පරිද්දෙන කින්නියා පාලම යනු ශ්‍රී ලංකාවේ දිගම පාලම වන අතර එහි දිග මීටර් 396 (අඩි 1,299) ක්.එය කොඩියාර් බොක්ක සහ තම්බලගම් බොක්කෙන් වට වූ කළපුව තරණය කරනවා. එය ත්‍රිකුණාමලය, කින්නියා සමඟ සම්බන්ධ කරන, සිවිල් වැසියන්ට කින්නියා කළපුව තරණය කර A15 අධිවේගී මාර්ගයෙන් කින්නියා සහ මුත්තූර් ප්‍රදේශ කරා ළඟා විය හැකි පහසු ම මග තනනවා.

සංගුපිඩි පාලම (චැංකුපිඩි පාලම) උතුරු ශ්‍රී ලංකාවේ යාපනය කළපුව හරහා ඇති මාර්ග පාලමක්. දශක තුනක අමිහිරි මතක ඒකරාශි කරගෙන යාපනේ එක් ඉසව්වක සිට මන්නාරම දෙසට දිවෙන සංගුපිටි පාලම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංගුපිඩි හා යාපනයේ දිස්ත්‍රික්කයේ කරයිටිව් හා සම්බන්ධ කරනවා. එය ජනාකීර්ණ යාපනය අර්ධද්වීපය, ප්‍රධාන භූමිය හා සම්බන්ධ කරන පාලම් දෙකෙන් එකක්.

ගමනේ විරල දසුන්

මේ පාලම A32 යාපනය - මන්නාරම් මාර්ගයේ කොටසක්. පාලම ඉදිකිරීමට පෙර යාපනය අර්ධද්වීපය සහ ප්‍රධාන භූමිය අතර පැවති එකම මාර්ග සම්බන්ධතාව වූයේ අලිමංකඩයි. සංගුපිඩි පාලම දකුණු ශ්‍රී ලංකාවේ සිට යාපනයට යන ගමන කිලෝමීටර් 110 (සැතපුම් 68) හෝ පැය තුනකින් අඩු කරන කෙටි ම මාර්ගයයි.ඈතට විහිදෙන මුහුදත්, තැන තැන වීසි දැල් උස්සාගෙන සිටින ධීවරයනුත්, වේගෙයෙන් දියඹට ඇදෙන ධීවර යාත්‍රාත්, ඉස්සන් කොටුත්, පාර දෙපස වූ උස් විදුලි කණු මත ඊළඟ ගොදුර වෙනුවෙන් බලා සිටින උකුස්සන්ද මේ ගමනේ විරල දසුන්.

මෙම පාලමේ ව්‍යුහාත්මක සැලසුම අනෙකුත් ප්‍රදේශවල අප සාමාන්‍යයෙන් දකින අනෙකුත් පාලම්වලට වඩා බෙහෙවින් වෙනස්. මෙම වක්‍ර හැඩය පෑලිගෝඩ සිට මහනුවර දක්වා වූ දුම්රිය මාර්ගයේ ඉහළින් පියාසර කරන පාලමට සමානයි. මෙම වක්‍රය හේතුවෙන් ධීවර බෝට්ටුවලට පවා බාධාවකින් තොරව පාලම යටට යා හැකියි.

පුනරින්‍ යාපන අර්ධද්වීපයේ මල් පිපෙන භූමියයි
 

A32 මාර්ගය හරහා සංගුපිටි පාලම පසු කර මිනිත්තු පහළොවකින් පමණ පසු පූනාකරී නැත්නම් පුනරින්‍ හමුවනවා. මේ යාපන අර්ධද්වීපයේ මල් පිපෙන භූමියයි. "පූ " නම් මල් ය. " නාගරී" නම් නගරය යන්නයි. අප්‍රේල් මාසයට ආසන්න ව පිපෙන බිම් සවාන් මල්‍ නැරඹීමට කදිම නවාතැන පුනාකරීයි. විල්පත්තු අභයභූමියේ ද බිම් සවාන් බහුල ව දැක බලා ගත හැකියි.

ඌදා පූ යනු දම් පාට මල්‍ ය

ඌදා පූ යනු දම් පාට මල්‍. මේ දම් පාට මල් යාය දකින යාපනයේ ආගන්තුකයාගේ දෙතොල් අතර මිමිණෙන ජනප්‍රිය දෙමළ ගීතය නම් ඌදා ඌදා ඌදා පූ............................යි.

ටික දුරක් යද්දි චාවකච්චේරි මාර්කට් එක ඉදිරියෙන්.

නල්ල මීන්.........උඩන් මීන්.........

වාන්ගෝ.......වාන්ගෝ...............

‍ඒ තමා චාවකච්චේරි මාර්කට් එක.හොද අලුත් මාළු ලු. පරයි, සාලයෝ, කුම්බලයෝ. වර්ග ගොඩයි. ගන්න එන්න ලු.

ඕඩියල් කූල් 

ඉන් පස්සේ චාවකච්චේරියේ ඕඩියල් කූල්. මගේ දෙමළ මිතුරා තමයි සූපවේදියා. ඔන්න ඉතින් සූපවේදියා ඇඹුල් රසට සියඹලා එක්ක පදම් කරන සුප් එකට තල් පිටි, කුළු බඩු වර්ග, කණවායි(දැල්ලෝ), රාල්(ඉස්සෝ), නන්ඩු(කකුළුවෝ)දානවා විතරක් නෙවේ මාළුත් දානවා. සූපවේදියා ඉතින් පදමට හැදි ගාන ගමන් හොද කකුලුවන් තෝරන විදිහත් කියනවා.

"කකුලුවාගේ පිට පැත්තට වෙන්න කහ පාටට හුරු බිත්තර වගේ තියනවනම් ඒ තමා හොද කකුලුවෝ"

"මුහුදු ආහාර, තල් පිටි ඇරුණ ම කුළුබඩුවලට අමතර ව ඔන්න එළවළුත් දානවනම් ඒ තමා සාම්ප්‍රදායික ඔඩියල් කූල් " ඒ සූපවේදියාගේ අම්මා.

දැන් ඉතින් මගේ ස්නායු ආවේගය වේගවත්. ඛේට ග්‍රන්ථිත් ඔක්කොම උත්තේජනය වෙලා. ඛේටය ස්‍රාවය වෙන්නත් පටන් අරන්. ඉස්පාසුවක් නෑ.
රස ගණනාවක සම්මිශ්‍රණයක්. ඒකට ම ආවේණික සුවඳක්. රස බලන්න වෙලාව. සාම්ප්‍රදායික විදිහට ම ඔන්න තල් කොලේකින් හදපු ගොට්ටක දාලා තමා පිළිගැන්නුවේ. පොල් කට්ටක දාලා පොල් කොලේකින් කපා ගත්ත හැන්දක් වගේ තීරුවක් එක්කත් පිළිගන්වන්න පුළුවන්. ඒ තාමා චාවකච්චේරියේ ඕඩියල් කූල්...

චාවකච්චේරියේ ඕඩියල් කූල්

චාවකච්චේරියේ ඕඩියල් කූල්වලින් සප්පායම් වුණු අපේ මීළඟ ගමනාන්තය නම් සරසාලෙයි. රෝස පාට උස ෆ්ලැමින්ගෝ කුරුල්ලෝ බලන්න. ඔවුන් සංක්‍රමණ පක්ෂීන් විශේෂයක් (Greater flamingo (Phoenicopterus roseus). සිංහලෙන් කියන්නේ රාජ සියක්කාරයා, දෙමලෙන් කියන්නේ පෙරුම් පූනාරේ (பெரும் பூநாரை) කියලා.වසරේ එක් කාලයකදී ලංකාවට පියාසර කරන මොවුන් බොහෝවිට යාපනය අර්ධද්වීපයේ තැන් තැන්වල ඒ කියන්නේ අලිමංකඩ, මන්නාරම, සරසාලේ, කුරුවික්කාඩු, තොන්ඩමන්නාරු, කයිට්ස් වගේ ප්‍රදේශවල සමූහ ලෙස ඒකරාශි වෙනවා.

සරසාලෙයි රෝස පාට උස ෆ්ලැමින්ගෝ කුරුල්ලෝ 

කුරුවික්කාඩු........
"කුරුවි" නම් පක්ෂීන්‍. " කාඩු " නම් රක්ෂිතය යි. දෙමළ නම් බොහෝමයක සිංහල තේරුම මෙසේ වටහා ගත හැකියි.

අසා ඇති අන්දමට නම් යාපන අර්ධද්වීපය "නයිනතිව් " ලෙස එකල හැඳින්වූවා. ලක්දිව එකල යක්ෂ නාග ගෝත්‍රිකයන් ජීවත් වුණා. නයිනතිව් නම් නාගයන්ගේ දිවයිනයි. ජනප්‍රවාදයකට අනුව නම් නිලවරායිහි ඇති පතුල නැති ළිඳ: දැන්නම් පතුලක් ඇති ළිඳ එකල්හි නාගයන් නාගලොවට යාමට භාවිත කළ පියගැට පෙළක්.

සරසාලෙයි කියන කඩොලාන රක්ෂිතය බලන්න යන්න හේතුව අර ෆ්ලැමින්ගෝ කුරුල්ලෝ. ආයෙත් කියන්න ඕන අපි ගියේ රාජ සියක්කාරයෝ බලන්න. ඒත් අපි ගියේ හවසක. කියන්නම ඕන දේ තමා මේ කුරුල්ලෝ බලන්න යනවනම් මහ පාන්දරක තමා කැමරාවත් අරන් යන්න ඕනේ.

 ආදරයේ සංකේතය 

නැගෙනහිර ඉන්දු වෙරළ තීරය ඔස්සේ පහළට පියඹා කැල්මියන් තුඩුවත් රාමේෂ්වරනුත් පසු කරන මේ ෆැලැමින්ගෝ කුරුලු විශේෂය ලක්දිවට සංක්‍රමණය වන්නේ ප්ලාවාන්ග හා කුඩා මසුන් ආහාර ලෙස සපුරා ගැනීමටත්, මුල් වාසභූමිවල ශීත දේශගුණයෙන් මිදීමත් සදහායි. අර්ධද්වීපයේ වූ කුඩා කලපුවල වූ උනුසුම් ජලයේ ජීවත් වීමට මොවුන් ප්‍රිය කරන අතර ලක්දිවට නැගෙනහිරින් රටට ඇතුළු වන මොවුන් බූන්දල දක්වා ව්‍යාප්තයි. රෝස - කලු පැහැති මොවුන්ගේ පාද ගැඹුරු ජලය තුළ ඇවිදීමටම සකස් වූ ඒවායි. පියැඹීමට අවශ්‍ය ශක්තිය මොවුන් ලබාගන්නේ තනි පාදයෙන් වීම විශේෂිතයි.

"සියක්කාරයෝ" නම් පොළවේ සීසාන්නෝයි. පාද දෙක හා හිස දියෙහි ඔබාගෙන මසුන් සොයන මොවුන්ගේ ඇස් දිය යට දී පවා විවර වී ඇත. මේ ආහාර සෙවීම හුදෙක් නර්තනයක් හා සමානයි. තැන තැන එක එකා කොටා ගැනීම නැතහොත් ප්‍රේම කලහ සුලබ දසුනක්‍. අනතුරක් සැල වේ නම් රංචුව ම පොකුරකට ඒකරාශි වනුයේ කාගේ හෝ විධානයකට ද? පක්ෂීන් දහසකගේ සංක්‍රමණ චර්‍යා රටා හදුනාගැනීමට අලිමංකඩ හෝ මන්නාරම බලා යා යුතුයි. 

සරසාලෙයි කඩොලාන රක්ෂිතය 

කඩොලාන පරිසරයක් කියන්නේ ලෝකයේ වඩාත් ම පලදායී පරිසර පද්ධතියක්.යාපනය වගේ වියළි කලාපීය ප්‍රදේශයක තැන තැන නිර්මාණය වූ වගුරු බිම් ආශ්‍රිතව තියෙන මේ කඩොලාන පරසර සංචරණ පක්ෂීන්ට කියාපු තැනක්. සොයා බැලූ පරිද්දෙන් මේ අතර වඩාත්ම ව්‍යාප්ත වූ කඩොලාන විශේෂය නම් අවිසීනියා මරීනා (Avicennia marina )වඩාත් සුලභ විශේෂයයි. දූපත් ප්‍රදේශ වන මන්ඩයිටතිව්, සිරුතිව්, කුරුසාඩිතිව්, කුරිකාඩ්ඩුවන් සහ පුන්ගුඩිටතිව් (Mandaitivu, Sirudivu, Kurusaditivu, Kurikadduvan and Pungudutivu ) ප්‍රදේශවල මේ කඩොලාන ව්‍යාප්තයි. මීට අමතරව යාපනයේ උතුරු හා ඊසානදිග සමහර ප්‍රදේශ වන තොන්ඩමන්නාරු, අම්පන් සහ චෙම්පියන්පට්ටු ප්‍රදේශවල එය දුර්ලභ යි.

"ඉල්වාරෙයි" දිය අගල

සරසාලේ සංචාරයට මත්තෙන් හමුවන තවත් එක් ගමනාන්තයක් නම් "ඉල්වාරෙයි" දිය අගලයි. අක්කර ගණනාවකට විහිදී ඇති කුඹුරු යායවලට ජලය සපයන එක් මූලාශ්‍රයක් නම් මේ ඉල්වාරෙයි දිය අගලයි. මෙය වර්ෂා සමයේ ජලයෙන් පිරී පවතින, අනෙක් කාලවලදී ජලය නොමැතිව පවතින බොහෝ සංචාරකයන්ගේ ඇස ගැටෙන ස්ථානයක්.

"ඉල්වාරෙයි" දිය අගල 

චාවකච්චේරියේ අස්සක් මුල්ලක් නෑරම කරක්ගැසූ මේ ආගන්තුකයාගේ මීළඟ ඉසව්ව වන්නියේ වරණියයි. චාවකච්චේරියේ සිට මීසාලෙයි පහුකරගෙන කොඩිකාමම්වලට කි.මී. 2 ක් උතුරින් පිහිටි යාපනය අර්ධද්වීපයේ තෙන්මරාච්චිවල පිහිටි ආගමික ජීවිතය හා අධ්‍යාපනය කේන්ද්‍ර කර ගත් කෙත්වතුවලින් සාරවත් වූ කෘෂිකාර්මික නගරයයි, වරණි.

වරණියේ වන්නිය 

පුරාණ කාලයේ ස්වාභාවික වාසස්ථාන නිසා මෙම ප්‍රදේශය අනෙකුත් ප්‍රදේශවලට වඩා යෝග්‍ය යැයි සලකා ඇති බැවින් මෙම ප්‍රදේශය වරණි ලෙස හඳුන්වා තිබුණා. වරානි නම් ගෝත්‍රික කණ්ඩායමක් වාසය කර ඇති නිසාත් එය වරණි ලෙස හඳුන්වනවා. එහි පුරාණ කාලයේ බොහෝ බ්‍රාහ්මණ ජනාවාස බහුල ලෙස පැවති නිසාත් වරණි යන නම ඇති වන්නට ඇති බව සැලකිල්ලට ගැනීමත් වැදගත්.

වරණිය





Sunday, November 14, 2021

4. යාපනේ නිලවරායි පතුල නැති ළිඳ අසල සංඛාභිශේකය

 


සැතපුම් ගණනාවක් දිව ආ යාල් දේවියෙන් යාපනය වෙත ආ අපි මේ ගමන සුදානම් වෙන්නෙ පූතූර් (புத்தூர்) යන්නයි.

යාපනේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් පහළොවක පමණ දුරක් හරියට ම කිලෝමීටර් 14.9 ක් දුරින් තමයි පූතූර් තියෙන්නේ. යාපනේ-නාවක්කිරි 986 බස් එකේ තමා පූතූර් යන්න ඕනේ. මතක හැටියට නම් රුපියල් තිහ හතළිහක දුරක්. පූතූර් තියෙන්නේ යාපනේ "වලිකාමම්" කියන කොටසේ.

උතුරු අර්ධද්වීපයට නම් හොඳට ම ඉර මුදුන් වෙලා. හිරු පොළොවට ළං වී ගමන් කරන කාල සීමාව නිසා මහ පොළොව ගිනිබත් කරන්න තරම් කාස්ටක අව්ව. කාස්ටක අව්ව හැමෝට ම සමාන ව දැනුණා.

කාස්ටක අව්ව හැමෝට ම සමාන ව දැනුණා 

යාපනය අර්ධද්වීපය කියන්නෙ කොටස් පහක එකතුවක්. වලිකාමම්, තේන්මරච්ච්, යාල්පානම්, වඩමාරච්චි හා දූපත් හතකින් නිර්මාණය වුණු භූමි භාගයක්. යාපනයේ මස්තිෂ්කය විදියට හඳුන්වන්නේ වඩා නැත්නම් වඩමාරච්චි. යාපනයේ මස්තිෂ්කය විදියට වඩමාරච්චි හඳුන්වන්නේ ඇයි කියා ඇසිය යුත්තේ වඩමාරච්ච්වලම අයකු ගෙන්.

ලංගම බස් එකක නැගලා අපි පූතූර් යන ගමන පටන් ගත්තා. තේනු, මගේ සගයා තමා නඩේ ගුරා. අපි යන්නේ එයාගේ ගමේ පන්සලේ එහෙම නැත්නම් කෝවිලේ උත්සවේට.

"සංඛාභිශේකම්" බලන්න. ඒ අතර ම තවත් විශේෂ දෙයක් බලන්නත් එක්ක.

යාපනේ ඉඳන් කිලෝමීටර් 13.9 ක් දුරින් තමයි පූතූර් තියෙන්නේ 


යාපනයේ කෑම රසට කන්න පුළුවන් නල්ලූර් භවන්

පූතූර් යන බස් එකේ වැඩි සෙනඟක් නෑ. අපි හතර දෙනා ම පිටිපස්සේ සීට් එකේ. යාපන ටවුමෙන් එළියට ආව බස් එක පලාලි පාර දිගේ ඉස්සරහට යනවා. ආරියකුලම් හංදියේ සිග්නල් එකෙන් දකුණට දාලා නාග විහාරේ පහුකරනවත් එක්ක ම නල්ලූර් කෝවිලට යන පාර. එතනින් පොයින්ට්පෙඩ්‍රෝ නැත්නම් පේදුරුතුඩුව පාරට හැරෙනවා.

මාත් වට පිට බල බල යනවා. පැත්තක පේනවා රියෝ එක. ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් කර්මාන්තශාලාව. පස්සේ ඔන්න ලින්ගම් අයිස්ක්‍රීම් කඩේ. කෝකෙත් අයිස්ක්‍රීම් හරිම රසයි. එයිට පොඩ්ඩක් නුදුරින් තමා තියෙන්නෙ යාපනයේ කෑම රසට කන්න පුළුවන් නල්ලූර් භවන් භෝජන ශාලාව.

රතු, සුදු තීන්ත තීරු ආලේප කරපු උස් බිත්තිවලින් වට වුණු නල්ලූර් කන්දසාමි කෝවිල

ඒක පහුවෙනවත් එක්ක ම රතු, සුදු තීන්ත තීරු ආලේප කරපු උස් බිත්තිවලින් වට වුණු නල්ලූර් කන්දසාමි කෝවිල (நல்லூர் கந்தசாமி கோவில்; Nallur Kandaswamy Kovil) පහු වෙනවා. මේ නල්ලූර් කෝවිල යාපනයට හරි අපූර්ව තේජස් බවක් එකතු කරන්නෙ. කෝවිල පසුකරද්දි එන ලාක්ෂණික සුවඳ, බෙර නළා හා වන්දනා විධිවල හඬ හිතේ ඇතිකරන්නෙ අපූර්ව සංයමයක්.

දැන් බස් එකේ කලින් තිබුණු මන්දගාමී බව අඩු වෙලා. බස් රථය වේගයෙන් ඉස්සරහට යනවා.

ටිං...................ටිං...........................

බස් එකේ හඬ මගේ දෑහන බිඳිනවා.

බස් රථයෙන් ඔළුව එළියට දාලා කුතුහලයෙන් අවට බලන මට පේන්නේ පාර දෙපැත්තේ තල් ගස් යායවල්, දිගේලි කරපු ගව පට්ටි, එළු රංචු. ඒ අස්සෙ ම පොඩි පොඩි වගා බිම්. රතු ලූනු, කැරට්, බණ්ඩක්කා, අමු මිරිස් , රතු අල , මෑ කරල් වගේ එළවළු. අතරින් පතර පේන සාරවත් කෙසෙල් වගාව නම් හරිම පලබරයි. තවත් වෙලාවක තල් ගස් අතරින් පේන්නේ හොඳින් වැඩෙන දුම්කොළ වගාවක්. මේ මොන කාස්ටක අව්වක් ආවත්, මහා සුළි සුළං එක්ක වැස්සක් ආවත් යාපන වියළි කලාප බිම පුරාවට ම සරුසාරෙට වැඩුණු ගොවිබිම්වලටනම්, මේ මහ පොළොව ඉරි තලන අව්ව මහා අරුමයක්යැ.

පීදීගෙන එන බටු වගාව 

ඒ වගා කවදත් මේ භූමියෙන් පෝෂණේ උරාගෙන සරුසාරෙට වැඩෙනවා. මේ මහ කටෝර පොළොව ඕන දේකට ඔට්ටුයි. මහ පොළොව එක්ක පොරබදින යාපන ගොවියන්ගෙ සවිය,දිරිය, කැපවීම තමා වගාබිම් පුරාවට ම තියෙන්නෙ. මේ භූමිය සශ්‍රීකයි .සංචාරය කරන්නකු මග දෙපස හොඳින් නිරීක්ෂණය කළොත් පේන්නේ අක්කර ගාණක් ඈතට විහිදුණු කුඹුරු ඉඩම්.

රටට ම අල, ලූණූ , මිරිස් සැපයූ යාපනේ ගොවි රජවරු

බණ්ඩක්කා, අර්තාපල්, ලූණූ, අමු මිරිස්, බීට් රූට්, කැරට් ආදි එළවළුත්, කෙසෙල්, අඹ, මිදි වැනි පලතුරුත්, විවිධ පලා වර්ගත් සාරවත්ව වැඩෙන භූමියක්. අවුරුද්ද පුරාවට හරි හමන් වැස්සකුත් නැතිව වැවෙන මේ බව භෝගවල පලදාවෙන් පෙන්නේ උතුරු අර්ධද්වීපයේ ගොවි මහත්තුරුන්ගේ උත්සාහය හා කැපවීමක තරම බව තමා මගේ හැඟීම. අද පමණක් නෙවේ මින් දශක ගණනාවකට මත්තෙන් ‍රටට ම අල, ලූණූ , මිරිස් සැපයූවේත් මේ යාපනේ ගොවි රජවරුන් ම තමා.

හරි හරියේ වැඩීගෙන එන රට කජු වගා බිමක අසිරිය 

ටිං...................ටිං..............................

තවත් අයෙක් බසයෙන් බසිද්දී එකා දෙන්නා බසයට නැවතත් ගොඩ වෙනවා. අපි තව තවත් ඉදිරියට යන්නේ අපේ ගමනාන්තය තවත් දුරක වූ නිසා විය හැකියි. රථය ඉදිරියට යන්නේ පාර පුරාවට ම දූවිලිත් අවුස්සාගෙනයි.

අව්වත් තදට ම සැරයි. අව්වෙ සැර හිසට ආරෝපණය කර ගත් බසයේ රියදුරු මහතා සුක්කානම කරකවන්නේ මහකලබලෙන් වගේ. රථයේ වේගයට වැඩි නිසා දෝ පාපැදිවල ගිය පිරිස් පාර දෙපැත්තේ ඒවා නවත්තාගෙන බස් රථය දෙස බලාසිටින්නේ මනා සංයමයකින්. දැන් බස් ගමනට හෝරාවක් ගත වී අවසන්‍.

කාස්ටක අව්ව එක්ක පොර බදින මහ පොළොව

ටිං..................ටිං...................ටිං.............

ප්‍රසිද්ධ පතුල නැති ළිඳ (bottomless well) පිහිටලා තියෙන්නේ මේ ප්‍රදේශයේ. අදටත් ලක්දිව නොවිසඳුණු අබිරහස් ගණනාවක් ම ශේෂයි. කළු දිය පොකුණ, ත්‍රීකුණාමලේ ෆෙඩ්‍රික් කොටුවේ පාතාලමලේ හා රාවණා ගේ දඩු මොනරේ ඒ අතර ප්‍රධානයි.

ළිඳ ගැන ජනප්‍රවාද ගොඩක එකතුවක් 

යුද්ධයෙන් පස්සේ යාපනේ සංචාරය කළ කෙනෙක් නම් ඉතින් මේ තැනට ගිහින් ඇති. ජනප්‍රවාද ගොඩක එකතුවක් තමා මේ ළිඳ ගැන අහන්න ලැබෙන්න ඇත්තේ. එයින් කීපයක් මේ.

ලක්දිව ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර විසූ නාග ගෝත්‍රිකයන් මිහිපිට සිට නාග ලොවට යාමට යොදා ගත් පියගැට පෙළක් සහිත ළිඳ, නාවට්කන්නී මේ ළිඳ, නිලවරායි ළිඳ යි.

රාම රජු සමඟ යුද වැදී ඉන්දියාවට යන රාම කුමරු හා සීතා අතරමඟ දී දිය පිපාසය සන්සිඳුවා ගැනීමට රාම කුමරු ත්‍රිශූලයෙන් පොලවට ඇන දිය ලබා ගත් ස්ථානය නිලවරා යි.

නාගදීපයට වැඩි බුදුරජාණන් වහන්සේට පැන් පානයට ශක්‍ර දේවේන්ද්‍රයා මැවූ ළිඳ, නිලවරායි ළිඳ යි.

බොහෝ දෙනකු ගේ මතය වන්නේ යාපනයේ නිලවරායි හන්දියට ආසන්න ව පිහිටා ඇති සුවිසල් ළිඳ පතුලක් නොමැති කුහරයක් පමණක් බවයි. එය ‘පතුලක් නොමැති ළිඳ’ යැයි හැඳින්වීමට බොහෝ අය පුරුදු ව ඇත්තේ එනිසා යි. සමහරුන් කියන්නේ මේ ළිඳ මීට කිලෝ මීටර 04ක් දුරින් ඇති කීරමලේ පොකුණ හා සම්බන්ධ බවයි. අභ්‍යන්තර දෝනාවකින් මාතලේ ප්‍රදේශයේ ඇති උල්පත්වලින් මේ ළිඳට ජලය ලැබෙන බව තවත් අය පවසනවා.

වගාබිම්වල පස සාරවත් කරගන්න නයිට්‍රජන් හොදින් තිර කරගන්න වගා කරන සනල් නම් ශාක විශේෂයක්

මෙය ළිඳක් ලෙස හැඳින් වුවත් බැලූ අයුරින් හුණුගල් ආවාටයක් බවයි මෙහි ගවේෂණයක යෙදුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම පවසන්නේ. පිරිසුදු නිල්වන් දිය පිරුණු මෙම ළිඳ ඉතා ගැඹුරුයි. ඒ බව ළිඳ මතුපිට සිට බලන අයට පවා අවබෝධ වන්නක්.

මුහුදු ජලයත්, ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන් වන මායිම

මේ පළාතේ දිය පවස වසර සිය ගණනක් පුරා නිවූ මේ ළිඳ අසල පැරණි දාගබක නටබුන් හා හින්දු කෝවිල් කිහිපයක් ද වනවා. මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසත් නම් කර තිබෙනවා. මේ ළිඳ මීටර 14.5ක් දිගින් හා පළලින් මීටර් 10.7ක්. ළිඳ වටා සිමෙන්ති යොදා ළිං බැම්මක් සකසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන් ආරක්ෂිත වැටක් ද ඉදි කරලා.

ප්‍රසිද්ධ පතුල නැති නිලවරායි ළිඳ 

“මේ ළිඳේ ඝනත්වයෙන් වැඩි පතුලේ ඇති මුහුදු ජලයත්, ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම මෙහි පැහැදිලි ව දකින්නට ලැබෙනවා. එම ස්ථානයේ විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය ඉතා ආකර්ශනීය දර්ශනයක්.”

යැයි මෙහි ගවේෂණයක යෙදුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම පවසනවා.

පර්යේෂකයන් පවසන්නේ මේ ළිඳේ ජලය ඉතා නිශ්චල බවයි. මතුපිට ජල මට්ටමේ සිට මීටර 40ක් පමණ ගැඹුරට ගිය විට ළිඳේ පත්ල මුහුදු පුරාවිද්‍යා කණ්ඩායමට හමු වී තිබුණා. ඔවුන් පවසන්නේ පතුලක් නොමැති බව පවසන මේ ළිඳට හිරිගල්වලින් සෑදුණු පතුලක් තිබෙන බවයි.

ළිඳේ කටට වඩා පතුලේ වට ප්‍රමාණය වැඩියි 

ගවේෂකයන් කියන්නේ ළිඳේ කටට වඩා පතුලේ වට ප්‍රමාණය වැඩි බවයි. ළිං පතුළට යන විට ගුහාවක් තුළට යනවා සේ දැනෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ හිරිගල් ස්ථරය මයෝසීන යුගයට අයත් බව හඳුනා ගත හැකි වුණු බව හිරිගල් බිත්තියේ සාම්පල කිහිපයක් පරීක්ෂා කිරීමේ දී අනාවරණය වූ බව ගවේෂකයන් පවසනවා.

ළිඳ පහුවෙද්දි ම අපේ ගමනාන්තය, තේනුජා ගේ ගම "පූතූර් ".

ටිං................ටිං................ටිං.............බසය ඉද්ද ගැසුවාක් මෙන් නවතියි.

ඉරන්කු ! (இறங்கு!- බහින්න!) ඒ තේනු හඬයි.

ඒ අපේ ගමනාන්තය නිලවරායි…!

නාගලොවට යන පියගැටපෙළ යයි ජනතාව විශ්වාස කරන තරන තැන

දූවිලිවලින් නෑවිච්ච අතුරු පාරවල්

අප බස් රථයෙන් බසිනවාත් සමඟ ම දූවිලි අතරි බසය නොපෙනී ක්ෂණිකව ඈතට ම දිව ගිය අයුරු පුදුමයක්.

දූවිලිවලින් නෑවිච්ච අතුරු පාරවල්.ඒ තරම් කාස්ටක අව්වක්.පාර දෙපැත්තේ නිල්ල ගැසුණු කුඹුරු වගා බිම්. සන්සුන් ඉරියව්වෙන් ඒවා මට කියා පාන්නේ යාපනේ පොළොවනම් කවදත් අපේ දෙමළ සගයන් හා උරණ වී නැති හැඩයි.

තේනුගේ ගමේ කෝවිල තිබුණේ විශාල නුග ගසක් අසල. පසෙක මහා සියඹලා ගසක්. තවමත් අවට සන්සුන්‍. සීනුවක් එල්ලා ගත් ගවයෙක් නොසන්සුන්ව ඒ මේ අත දුවන්නට පටන් ගත්තේ මේ ආගන්තුකයන් ගේ ආගමනය නිසාද?

මොකක්ද මේ " සංඛාභිෂේකය" කියන්නේ? තේනුට මගෙන් පැනයක්.

"සංඛ "කියන්නේ හක්ගෙඩිය, අභිෂේකම් කියන්නේ යම් පූජනීය වස්තුවක් කිසියම් දියරයකින් නෑවීම. සංඛ පමණක් නෙවෙයි ප්‍රතිමා, ශිවලිංග ආදිය ජලය, කිරි, ගිතෙල්, දී කිරි, මී පැණි වැනි විවිධ දියර වර්ගවලින් නහවන එකයි.

මෙය සංඛ එක් දහස් අටක් යොදා ගෙන කරන පූජාවක් 

මෙය නම් වාලම්පුරි,එහෙමත් නැත්නම් හක් බෙල්ලන් (සංඛ) එක් දහස් අටක් යොදා ගෙන කරන පූජාවක් බවයි තේනු කියන්නේ. ශිව ප්‍රතිමාවක් ඉදිරිපිට කුඩා ගිනි ගොඩක්. පසෙක නළා වාදකයෙක් හා බෙර කරුවෙක්. ස්වර ගළපමින් වයන ඔවුන් දෙදෙනා ගේ රිද්මය සමඟ පූජාව ආරම්භ වූවා. පූජකවරයා විවිධ දෑ ගින්නට දමමින් පාඨ මුමුනයි. ගිනි ජාලාවලින් ඒවා දැවී අලු වී යන්නේ ක්ලේශයන් දැවී යන්නා සේයි. පූජාවේ අරමුණ ද එයමයි. ඇදහිලි, විශ්වාස පුදුමාකාරයි.

සංඛ එක් දහස් අටක් යොදා ගෙන කරන පූජාවක්

තවත් අයෙක් ශිව ප්‍රතිමාව කහ දියර,එළ කිරි,තැඹිලි, ඖෂධ වර්ග ,පලතුරු යුෂයෙන් නාවයි. උඩු කය නිරුවත් වේට්ටියෙන් සැරසුණු පුද්ගලයන් සිව්දෙනෙක් ගණ දෙවි ප්‍රතිමාවක් ආසනයක හිඳුවා කර මතා තබා ගෙන පාඨ කියමින් කෝවිල වටේ රැගෙන යයි. මේවා විවිධ සංස්කෘතික අංගයි. හෝරා දෙකක් ම ගත වී අවසන්‍.

සන්සුන් මා නො සන්සුන්වී ගෙන එන පාටකි.කෝවිලේ සෙනඟ ද එකා දෙන්නා වැඩී වීගෙන එයි. ඔවුන්ගේ ඇස පූජාවටත් වඩා මේ නුපුරුදු ආගන්තුකයා දෙසට යොමු වී ඇත. පූජාව අවසන් වෙද්දී ඉර මුදුන් වී අවසන්.

දැන් ඉතින් ගමනේ රසවත් ම කොටසයි. කෝවිලේ දිවා භෝජන වේලාවයි. කෝවිලට ආ සියල්ලන් සිටින්නේ බිම අසුන් ගෙනයි. අයෙක් ඔවුන් ඉදිරිපිට කෙසෙල් කොළ එළා ගෙන යද්දී අනෙකුන් වෑංජනත්, බතුත් තවත් අයෙක් බෙදයි. බත රතු පාටයි. ඇට තරමක් විශාලයි. වෑංජන කීපයක් හා පපඩමක් සමඟ බැදපු මිරිස් කරලක්.‍ රස ගැන කිවයුතු නැත. කා හමාර වී නැවත නැගිටීමත් අපහසුයි.

භෝජනයෙන් පසු "පාලහාරම්" එනම් රස කැවිලි වාරයයි

භෝජනයෙන් පසු "පාලහාරම්" එනම් රස කැවිලි වාරයයි. ධාන්‍ය, පොල් පැණි එක් කළ "මෝතගම්" ප්‍රණීතයි. අසා ඇති අන්දමට එය නම් ගණ දෙවියන්ගේ ප්‍රියත ම ආහරයයි. ඉන්පසු රට ඉඳි - කෙසෙල් එක් කළ තවත් අතුරුපසක්.නම නම් නොදනියි. ඒ රසය මාගේ රස නහර තුළ තවමත් දුවනවා.

ටිං..........ටිං.........ටිං...........................ඒ නම් කෝවිලේ සීනු හඬයි. එය සිහි කරන්නේ අප ආපසු යා යුතු වේලාව ළඟා ව ඇති බවයි. දුවිලි අවුස්සා ගෙන යාපනය බලා නැවත දිවෙන බස් රථය තව මොහොතකින් කෝවිල ඉදිරියට එනු ඇති. 

6. සොඳුරු බව මේ ලෙසයි මන්නාරමේ

ගල්ෆ් කිව්ව ගමන් මතක් වෙන්නේ ගල්ෆ් රටවල්. ලංකාවේ මන්නාරම් දූපතත් ගල්ෆ් කලාපයේ පිහිටා තිබෙන්නේ කිව්වොත් පිළිගන්නවා ද? ඌදා පූ (දම් පාට මල්‍) බ...